Home Uncategorized ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් නොපෙනේ : සැකකරුට ඇප !

ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් නොපෙනේ : සැකකරුට ඇප !

93
0

එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකිරීම ඇතුළු චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මනෝජ් ගමගේ පවසා සිටියේ, ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් අදාළ චෝදනා තුළ දක්නට නොලැබෙන බව පවසමින් අධිකරණය සැකකරුට ඇප ලබාදුන් බවයි.

අදාල සිදුවීම පාදක කරගනිමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 30 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

සැකකරුවන් දිවයිනේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජ ජාලා ගිණුමක් මඟින් සංසරණය කිරීම මෙන්ම මීට පෙර වර්ෂයන්වලදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහාවිරු සැමරුම්වලදී ලබාගත් පැරණි වීඩියෝපට මෙම වර්ෂයේ සිදුකරන ලද සැමරුම් ලෙස හුවා දක්වමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේ සංසරණය කිරීම යන චෝදනාවන් ඔවුන්ට එල්ල වී තිබුණි.

ඒ අනුව මෙම සැකකරුවන් මහජන විරුද්ධත්වය ඇවිස්සීම හා ඇවිස්සීමට තැත් කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ෆේස්බුක් මගින් ප්‍රචාරණය කිරීම යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගනුලැබූ බව පොලිස් නිවේදනයේ සඳහන් කර තිබිණ.

Previous articleඅධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවය උණුසුම් වෙයි – පිරිසක් අත්අඩංගුවට
Next articleමැතිඇමති, හිටපු ජනාධිපති වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා වූ කමිටු වාර්තාව ජනපතිට (PHOTOS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here