Home අද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු ජපන් සංවර්ධන ව්‍යාපෘති කටයුතු කඩිනම් කිරීමට ජපානයේ අවධානය

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු ජපන් සංවර්ධන ව්‍යාපෘති කටයුතු කඩිනම් කිරීමට ජපානයේ අවධානය

3139
0

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (HAYASHI Yoshimasa) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා කොළඹදී පැවැත්විණ.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි මෙම සාකච්ඡාවේ දී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ලබා දෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සමග සිදු කළ සාකච්ඡාව පිළිබඳව ද කරුණු පැහැදිළි කළේය.

එසේම ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව තවදුරටත් විදාහ දැක්වෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT), වරාය නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම යන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් විය.

ශ්‍රම වෙළඳපොළ ඉලක්ක කරගත් ආර්ථිකයක සිට අධි තාක්ෂණික ආර්ථිකයක් දක්වා පරිවර්තනය වීමේ අපේක්ෂාවෙන්පසුවෙන ශ්‍රී ලංකාවේ අධි තාක්‍ෂණික කර්මාන්ත ආශ්‍රිත ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජපාන විදේශ අමාත්‍යවරයා දැනුවත් කළ අතර ඒ සඳහා ජපාන ආයෝජකයින් දිරි ගැන්වීමට කටයුතු කරන බව ජපාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දියන් සාගර කලාපය සාමකාමී සහ ස්ථාවර කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා එක්ව කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් කලාපීය සහ ගෝලීය ගැටළු රැසක් පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළහ.

ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතාගේ ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මුරකාමි මනබු, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අරිමා යුටකා, ජාත්‍යන්තර සහයෝගිතා අධ්‍යක්ෂ ජනරාල් එන්ඩෝ කසුයා සහ ජපාන විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ඔකානෝ යුකිකෝ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිසුකෝෂි අමාත්‍යවරයාගේ විධායක සහකාර ටොමෝසබුරෝ එසාකි, නිරිතදිග ආසියානු කටයුතු අංශයේ අධ්‍යක්ෂ ටාරෝ ෂුට්සුමි යන මහත්වරුඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහුද ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් මීට එක්ව සිටියහ.

Previous articleප්‍රංශ ජනපති ශ්‍රි ලංකාවේ ඓතිහාසික සංචාරයක
Next articleඋද්ධමනයට පහළට – මහබැංකුව කී සේම තනි අගයකට එයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here