Home අද සංචාරකයින් මිලියන 5ක් ගෙන්වා ගැනීමට Visit Sri Lanka නව සංචාරක සැලැස්මක්

සංචාරකයින් මිලියන 5ක් ගෙන්වා ගැනීමට Visit Sri Lanka නව සංචාරක සැලැස්මක්

31531
0

රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයින් මිලියන 2.5ක් ඇතුළුව සංචාරකයන් මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීම අරමුණ කර ගනිමින් රජයේ නව සංචාරක උපාය මාර්ගය වන ‘Visit Sri Lanka’ ඉදිරි මාස කිහිපය තුළ දියත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති Bocuse d’Or 2023 තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සුප්‍රසිද්ධ සූපවේදීන්ගේ සුවිශේෂී දක්ෂතා සහ කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාව නිර්මාණ කිරීම Bocuse d’Or 2023 තරගය මගින් සිදු වේ.

Bocuse d’Or 2023 තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

ඉන්දියාවේ ඇස්තමේන්තු පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයන් මිලියන 10ක් පමණ ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවත්, ඉන් බහුතරයක් ආසියානු සහ ඉන්දියන් සාගර කලාපයේ සංචාරකයින් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ගෝලීය සංචාරක වෙළෙඳපොළ තුළ තරග කිරීමට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පරිවර්තනයක් අවශ්‍ය වන අතර, ඉවුම් පිහුම් කලාවේ විවිධත්වයක් ඇති, ඝර්ම කලාපීය රටක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව රජය හඳුනාගෙන ඇති බැවින් මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ දී සූපශාස්ත්‍රය උපරිමයෙන් දායක කර ගැනීමට අවධානය යොමු කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

අප දැන් රටක් ලෙස අලුත් ගමනක් යා යුතුයි. අප බංකොලොත් භාවයෙන් මිදීමෙන් පසු අපට ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය අවශ්‍ය වෙනවා. ඒ හැමදේම පහසුවෙන් ලබාගත නොහැකියි. ඇතැම් ණය ආපසු ගෙවීමේ දී කොන්දේසි තිබෙනවා. මෙම මුදල් උපයා ගැනීමට හැකි අයුරින් අපගේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කරගත යුතුයි.

අපේ රටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයින් මිලියන 2.5 ප්‍රමාණවත් වන්නේ නැහැ. අප දැන් වාර්ෂිකව සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කරගෙන සිටිනවා. ඉන් මිලියන 2.5ක් ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයන් විය යුතුයි.ඉන්දියානු ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංචාරකයින් මිලියන 10ක් පමණ ගෙන්වා ගත හැකි අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ආසියාවෙන් සහ ඉන්දියානු සාගර කලාපයෙන් පැමිණෙන සංචාරකයන්. එබැවින් සංචාරක ක්ෂේත්‍රය තුළ විශාල පරිවර්තනයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අප Visit Sri Lanka නමින් නව සංචාරක සැලැස්මක් මෙම අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේ දී එළිදැක්වීමට අපේක්ෂා කරනවා. එම කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර එම කටයුතු අවසන් වූ වහාම එය එළිදැක්වීම අපේ අරමුණයි.

මෙම තරගය සංවිධානය කළ සහ දීර්ඝ කාලයක් පුරා මෙය පවත්වාගෙන එන ඔබ සියලුදෙනාට මම ස්තූති කරනවා. ඒ වගේම මෙම තරගය සංවිධානය කිරීම පමණක් නොව හොඳ සූපශාස්ත්‍ර පාසලක් ස්ථාපිත කිරීමට ඔබ අපට සහාය වනු ඇතැයි ද මම විශ්වාස කරනවා. ඒ වගේම මම ඔබ සියලුදෙනාට සුබපතනවා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජොං ෆ්‍රැන්සුවා, , Bocuse d’Or ශ්‍රී ලංකා සභාපති රොහාන් ප්‍රනාන්දුපුල්ලේ, ඩෙල්මා තේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්හාන් සී ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

 

Previous articleසර්වපාක්ෂික සමුළුව ගැන සජිත් සහ අනුර ගත් තීරණ
Next articleසෞඛ්‍ය ඇමතිට චෝදනා කරන්න එපා! – නාමල් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here