Home අද GSP+ සහනය යළි ලැබෙයි – ශ්‍රී ලංකාව බලාපොරොත්තු දල්වයි

GSP+ සහනය යළි ලැබෙයි – ශ්‍රී ලංකාව බලාපොරොත්තු දල්වයි

6182
0

යුරෝපා සංගමයේ GSP+ සහනය ලබා ගැනීමට අවශ්‍ය සියලු රෙගුලාසි වලට අනුකූලව ශ්‍රී ලංකාව කටයුතු කර ඇති අතර GSP+ සහන නව වටය ප්‍රකාශයට පත් කරන විට ශ්‍රී ලංකාවට එම සහනය නැවත ලබා ගැනීමට හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරනවා.

“අපි දැන් හොඳ කඩුල්ලක ඉන්නවා,” යැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාවේ අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි ගුණසේකර මහත්මිය යුරෝපා සංගමය (EU) සමඟ පැවැත්වූ පුළුල් සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළාය.

යුරෝපා සංගමයේ – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා සංවාදයේ මෑත කාලීන 25 වැනි සැසිවාරයේදී යුරෝපා සංගමය විසින් ඉදිරි වසර 10 චක්‍රය සඳහා 2024 ජනවාරි 1 වැනිදා සිට බලාත්මක වීමට අපේක්ෂිත නව GSP ප්ලස් රෙගුලාසිය ද ඉදිරිපත් කර තිබුණි. ගුණසේකර මහත්මිය පැවසුවේ ලබන වසරේ නව ප්‍රතිලාභ චක්‍රය ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව වැනි දැනට GSP+ සහන ලබන රටවලට වසර දෙකක කාලයක් මෙම සහනය නැවත ලබාගැනීමට අයදුම් කළ හැකි අතර එහිදී ඉදිරි වසර දෙක තුළ මෙම ප්‍රතිලාභය ශ්‍රී ලංකාවට දිගටම ලැබෙනු ඇති බවයි.

යුරෝපා සංගමය විසින් GSP+ හි අවසන් සමාලෝචන වාර්තාව ලබන මාසය වන විට නිකුත් කිරීමට නියමිතය. එසේම මෙම වාර්තාව ඉදිරි මාසවලදී යුරෝපීය පාර්ලිමේන්තුවට සහ යුරෝපීය කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇති බවයි.

මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අදාළ සම්මුතීන් 27 සඳහා ශ්‍රී ලංකාව සිය කැපවීම ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳ තක්සේරුවක් මෙම ලේඛනයේ අඩංගු වේ.

ජී.එස්.පී. සහනය හරහා යුරෝපා සංගමය සිය ආනයන බදු බිංදුවට කපා දැමෙනු ඇත.

2025 අවසානය වන විට ශ්‍රී ලංකාවට මෙම සහනය සඳහා සඳහා නැවත අයදුම් කිරීමට සිදුවනු ඇති අතර වත්මන් GSP + රෙගුලාසි යටතේ සම්මුතීන් 27 ක් ක්‍රියාත්මක කිරීමට සිදුවෙනු ඇත.

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පසුගියදා පැවති ඒකාබද්ධ කොමිෂන් සභා සංවාදයේදී ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, වෙළඳාම, සංවර්ධන සහයෝගීතාව, දේශගුණික විපර්යාස සහ පරිසරය, ආංශික සහයෝගිතාව, ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතාව සහ බහුපාර්ශ්වික වේදිකාවල සහයෝගිතාව සම්බන්ධ ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කෙරිණි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය වැඩි දියුණු කිරීම සඳහා වන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද සාකච්ඡා කෙරුණු බව මැයි 9 වැනිදා පැවති සාකච්ඡා අවසානයේ නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වේ.

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් පත්‍රය සංශෝධනය කිරීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳවද යුරෝපා සංගමය හා සාකච්ඡා කර තිබේ. මෙම පනත භාවිත කිරීමෙන් වළකින ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

එසේම සත්‍ය සෙවීමේ කොමිසම හරහා රජය ගෙන ඇති ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන්, ඉඩම් නිදහස් කිරීම සහ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සහ අතුරුදහන් වූවන් සම්බන්ධ ස්වාධීන කාර්යාලවල ක්‍රියාකාරිත්වය; වන්දි ගෙවීම්; සහ සමගිය සහ සංහිඳියාව යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

බොහෝ යුරෝපීය නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුළු වීම වළක්වන ආනයන සීමා ඉවත් කිරීම සඳහා ලබන මාසය වන විට සැලැස්මක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට සහතික වී තිබේ.

නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ ධීවර පිළිවෙත් වැළැක්වීම සහ ඉවත් කිරීම සඳහා නව ධීවර පනතක් කෙටුම්පත් කිරීම පිළිබඳව මෙන්ම කලාපයේ ටූනා නියාමනය සහ කළමනාකරණය සම්බන්ධීකරණය කරන ඉන්දියානු සාගර ටූනා කොමිසමේ (IOTC) රාමුවේ සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡාවට ලක්ව තිබේ.

සුනිමලී ඩයස් (සන්ඩේ ටයිම්ස්)

Previous articleලංකාවේ ණය ගැටළු විසඳන ක්‍රමය G7 සමුළුව පිළිගනී
Next articleඋපකුලපතිවරුන්ගේ ඉල්ලීම පරිදි සරසවිවල ආරක්ෂාව තර කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here