පසුගිය පාලන සමයේ පුරප්පාඩුව පැවති අභියාචනාධිකරණ විනිසුරුධූර 5ක් සඳහා විනිසුරුවරුන් පත්නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ.
ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම අද (27) ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
මෙහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම්කරමින් මෝසමක් ගොනුකර තිබෙන බව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව විරෝධතා තිබේ නම් සති හතරක් තුළ ගොනුකරන ලෙස වගඋත්තරකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට කල් ලබා දුන් විනිසුරු මඩුල්ල පෙත්සම විභාගය සඳහා මාර්තු මස 10 වනදා කැඳවන ලෙස නියෝග කෙරිණ .