Home අද හැකිතාක් ගෙදරම ඉන්න – නැවත දැනුම්දෙනතුරු මුව ආවරණ පළඳින්න

හැකිතාක් ගෙදරම ඉන්න – නැවත දැනුම්දෙනතුරු මුව ආවරණ පළඳින්න

870
0

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මැන්ඩවුස්‘ සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු ගලාඒම නිසා මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසනවා.

මේ දිනවල රටපුරා ප්‍රදේශවල පවතින අඳුරු ස්වභාවය සහ මීදුම් ස්වභාවයට හේතුව මෙය බව ද ඔහු සඳහන් කළේය.

ගම්පහ සහ කොළඹ ආදී දිස්ත්‍රික්කවලට මෙහි වැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, වායු තත්ව මාපක දත්ත අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වායුගෝලීය අංශු ප්‍රමාණය ඒකක 200ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ අංශු ප්‍රමාණය ඒකක 167 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රට පුරා සෑම ප්‍රදේශයකටම පාහේ මෙහි බලපෑම පවතින බව ද සරත් ප්‍රේමසිරි මහතා පවසනවා.

මෙරටට බලපා ඇති සුළි කුණාටුව අද දිනය වනවිට ඉන්දියාවේ තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත අතර, ඒ සමඟ ක්‍රමයෙන් මෙම දූවිලි තත්වය ද පහව යනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම දූවිලි අංශු ශරීරයට ඇතුළුවීමෙන් ශ්වසන රෝග ආදිය ඇතිවිය හැකි බැවින් මේ දිනවල එළිමහනේ ගැවසෙන විට මුහුණු ආවරණයක් පැළඳීම ඉතා වැදගත් බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම එළිමහනේ ගැවසීම අඩු කළ යුතු අතර, හැකිතාක් නිවෙස්වල දොර ජනෙල් වසා තැබීම ද වැදගත් බව ප්‍රේමසිරි මහතා කීවේය.

දූවිලි අංශුවල බලපෑමෙන් ඇති වූ වායු දූෂණ තත්වය අද වනවිට බොහෝදුරට අඩුවී ඇතැයි පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවතින වායු තත්ත්වය පිළිබඳ සහ එහි අවදානම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, ඉදිරි දින කිහිපය තුළත් මුව ආවරණ පැලඳීම අවශ්‍ය වන බව යි.

Previous articleරටේ සහල් හිඟයක් ඇතිවීමට කිසිඳු ඉඩක් නෑ – ආනයනය නතර කිරීමට ජනපතිගෙන් උපදෙස්
Next articleසජබ ට ලබන සතියේ වෙනදේ ඩයනා කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here