වී සඳහා සහතික මිලක් නියම කිරීමේ යෝජනාව අද (03) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
කැබිනට් නිර්දේශය සඳහා අද ඉදිරිපත් කරනු ලබන යෝජනාවට අනුව වී කිලෝවක සහතික මිල රුපියල් 115 ක් වනු ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
වී සඳහා සහතික මිලක් නොමැති වීම නිසා මහා පරිමාණ වීමෝල් හිමියන් ගොවි ජනතාවගේ වී කුණු කොල්ලයට මිලදී ගනිමින් සිටින බවට චෝදනා කරමින් රටේ විවිධ ප්‍රදේශවල පහුගිය දිනවල විරෝධතා පැවැත්විණි.
මේ අනුව ගොවීන් ඉල්ලා සිටින්නේ වහා වී සඳහා සහතික මිලක් නියම කරන ලෙසයි.
වී සඳහා සහතික මිලක් නියම කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ නිර්දේශවලට අනුව වී සඳහා සහතික මිල නියම කර මේ වන විට සති තුනකට වැඩි කාලයක් ගතව තිබෙන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
සහතික මිල නියම කළ ද එය තවමත් ප්‍රකාශයට පත් නොකර සිටීමෙන් ගොවි ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවන බව එම සංගමය සඳහන් කරයි.
කෙසේ නමුත් දැනට අනාවරණය වී තිබෙන තොරතුරුවලට අනුව තෙත නාඩු වී කිලෝවක් රුපියල් 95 ලෙසද නාඩු වී කිලෝවක් රුපියල් 115ක් ලෙසද සම්බා වී කිලෝවක් රුපියල් 120 ක් ලෙසද නම් කරමින් ඒ බව බැංකු වෙත මේ වන විටත් දැනුම් දී තිබෙන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා ප්‍රකාශ කළේය.