ඉදිරි දින තුන ඇතුළත වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කිරීමට රජය සැලසුම් කර ඇත.
මේ සම්බන්ධව සොයා බලා කටයුතු කිරීම සඳහා පසුගියදා කමිටුවක් ද පත් කළ අතර එහි නිර්දේශ සැලකිල්ලට ගනිමින් වී සඳහා සහතික මිලක් මේ වන විට නියම කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
රජය ප්‍රකාශයට පත්කිරීමට නියමිත වී මිල සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ ඇසුරෙන් Talks Hub නාලිකාව විසින් සිදුකළ වී මිල අනුමාන කිරීමක් පහත දැක්වේ.
ගොවි ජනතාවට කිසිදු අසාධාරණයක් සිදු නොවන ආකාරයට ඉදිරි දින කිහිපය ඇතුළත වී සඳහා වන සහතික මිල ප්‍රකාශයට පත්කර රජය වී මිලදී ගැනීම ආරම්භ කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වී සඳහා සහතික මිලක් නොමැති වීම නිසා මහා පරිමාණ මෝල් හිමියන් කුණු කොල්ලයට වී මිලදී ගනිමින් සිටින බව
පවසන ගොවි සංවිධාන මේ තත්ත්වය නිසා ගොවිජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව ඔවුහු පෙන්වා දෙති.
මහා පරිමාණ මෝල් හිමියන්ට ගොවි ජනතාව සූරා කෑමට ඉඩ හැර රජය බලා සිටින බවත් තවදුරටත් ඒ ආකාරයට කටයුතු කරන්නේ නම් දැවැන්ත විරෝධතා රට පුරා සංවිධානය කරන බවත් ගොවිසංවිධාන නායකයෝ කිහිපදෙනෙක් පැවසූහ.
කෙසේ වෙතත් මේ සම්බන්ධව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ
“ගොවි ජනතාව කලබල විය යුතු නැහැ. මේ වන විට තැන තැන ගොයම් කැපෙනවා පොළොන්නරුවේ ගොයම් කපන්න තව මාසයක් ගතවෙනවා ඒ වගේම උතුරු පළාතෙත් එහෙමයි මහා වාරියෝජනා ක්‍රම ඇති ප්‍රදේශවල ගොයම් කැපෙන්නේ පෙබරවාරි මැද සිටයි. සුළු වාරි ප්‍රදේශවල ගොයම් කැපීම දැන් ආරම්භ වී තිබෙනවා.
මේ වෙලාවේ ගොවීන්ට වී වලට මිල පිළිබඳ ප්‍රශ්නයක් නැහැ ඒ වගේම ඔවුන්ට තමන්ගේ වී අලෙවි කර ගැනීමේ ප්‍රශ්නයක්ද ඇතිවී නැහැ ඒ නිසා කලබල නොවී සිටින ලෙස අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා….”