ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ එම කාර්යාලය ඉදිරිපිට උතුරේ රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
උතුරේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කර තිබූ මෙම විරෝධතාවය සඳහා යාපනයේ ප්‍රදේශ ගිහිපයක සිට නියෝජිතයින් එම ස්ථානයට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය පළ කරමින් ඉල්ලා සිටියේ පොරොන්දු වූ පරිදි කඩිනමින් තමන්ට රැකියා ලබා දෙන ලෙසයි.
මෙතෙක් බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක් තම රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබා නුදුන් බවත් මේ තත්ත්වය මත මේ වන විට උතුරු සහ නැගෙනහිර පළාත තුල රැකියා විරහිත උපාධිධාරින්ගේ සංඛ්‍යාව විසි එක්දහස ඉක්මවන බවත් ඔවුහු පැවසූහ.
ජනාධිපතිවරයාගේ පැමිණීම හා විරෝධතා හේතුවෙන් යාපනය නගරය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ බව අප වාර්තා කරුවෝ පැවසූහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ යාපනයේ සංචාරය කරන බව දැනගත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අති විශාල පිරිසක් සහභාගි කරවා අද ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීමට සැලසුම් කර තිබුණත් යාපනය පොලිසිය ඊට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළේය.
ඒ අනුව සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් අද පැවැති විරෝධතාවය අතරතුර පොලිසිය මැදිහත්වී ඔවුන්ගෙන් කිහිපදෙනෙකුට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.
යාපනයට පැමිණි අනුර කුමාර දිසානායක මහතා යොදාගත් නිල රාජකාරී කටයුතුවලට සහභාගි වීමට පෙර අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ නිවසට ගොස් ඔහුගේ දේහයට අවසන් ගෞරව දක්වන ලදී.
අනතුරුව මාවෙයි සේනාධිරාජා මහතාගේ පවුලේ ඥාතීන් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ට සිය ශෝකය පළ කර සිටියේය.
යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට අමතරව දිස්ත්‍රික්කයේ තවත් වැඩසටහන් ගණනාවකට සහභාගි වූ අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරයට අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගීව සිටියහ.