Home අද රතු ලේබල් ඇතුළත් බහාලුම් 323 නිදහස් කිරීම ගැන කතා නැතුවම ජනපති අනුර...

රතු ලේබල් ඇතුළත් බහාලුම් 323 නිදහස් කිරීම ගැන කතා නැතුවම ජනපති අනුර ජාත්‍යන්තර රේගු දින සමරුව අමතයි

104
0

“සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට කාර්‍යක්ෂම රේගු දෙපාර්තමේන්තුවක් ” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර රේගු දිනය ජනාධිපති අනුර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රේගු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත.

එම අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ රේගුවේ පහසුකම් වැඩිදියුණු කිරීමට හා නව වැටුප් තලයක පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව මුදල් අමාත්‍යාංශයත් මහ භාණ්ඩාගාරයත් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වෙන බවයි.

එසේම 2025 වසරේදී රුපියල් බිලියන 2550ක ආදයම් ඉලක්කයක් රේගු දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙන බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් මේ බව සඳහන් කරන නමුත් එකී නිවේදනය තුළ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙන රතු සලකුණ යෙදූ බහුතර ප්‍රමාණයක් ඇති බහාලුම් 323ක් කිසිඳු රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා දැක්වූ කිසිඳු සඳහනක් නැත.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් ජනාධිපති අනුර දිසානායක ගේ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි.

ගිය වසරේ රේගුවට පැවරී තිබෙන වගකීම ඔවුන් විසින් ඉටු කර තිබෙනවා. ආර්ථිකය සමනය කිරීමට රේගුව දරන වෙහෙස ප්‍රශංසනීයයි. පසුගිය වසරේ රේගුව අත්කර ගන්නා ලද ඉලක්ක පිළිබඳව ඇගයීමට ලක් කරනවා. ආදායම් ඉලක්ක සපුරා ගැනීමෙන් පමණක් කඩා වැටුණ රටක ආර්ථිකය ගොඩනඟන්න බැහැ. ආර්ථික අර්බුදයෙන් පිය මනින්නට නම් ආදායම් ප්‍රතිශතය වැඩි කර ගත යුතුයි. ආර්ථිකය කඩා වැටීම නිසා ආනයන අපනයන වෙළඳපොළ හැකිළුණා. අප සියලු කටයුතු සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුවයි. එම නිසා මතුපිටින් ආර්ථික දේහය සුවපත් වී ඇති බව පෙනුණත් සම්පූර්ණ ආර්ථික දේහය තුවාල වී තිබෙනවා. එම නිසා ආර්ථික අර්බුදයෙන් සංයමයකින් යුතුව පියමැනිය යුතුයි.

කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට විශාල කම්පනයක් ඇති කළ හැකියි. එම නිසා රේගු දෙපාර්තමේන්තුව විසින් ඉලක්කගත රුපියල් බිලියන 2550ක ආදායම සපුරා ගැනීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතුයි.

රේගුවේ පහසුකම් වැඩිදියුණු කිරීමට හා නව වැටුප් තලයක පිහිටුවීමට යෝජනාවක් අද ඉදිරිපත් කළා. ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශයත් මහ භාණ්ඩාගාරයත් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මෙවර අයවැය ලේඛනය මඟින් රාජ්‍ය සේවක මූලික වැටුප වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල්කරණය සහ තාක්ෂණය එක් කර ගැනීමටත් සැලසුම් කර තිබෙනවා. ශක්තිමත් ආයතන ව්‍යුහ ඇති කිරීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ ඇති කිරීමටත් කටයුතු කරනවා.

පසුගිය දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවා යාන්ත්‍රණය සම්බන්ධයෙන් යම් ප්‍රතිවිරෝධයක් තිබුණා. එම පැවති මතභේද නිසා ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීමට දේශපාලන අධිකාරිය ගෙන ආ ප්‍රතිසංස්කරණ නිවැරදි වෙලාවට සිදු කරන්නට වූයේ නැහැ. නිවැරදි වෙලාවට යහපත් ආයතන ව්‍යුහයක් නිර්මාණය කිරීමට දුෂ්කර වූ කාලයක් තිබුණා. නිවැරදි වෙලාවට ආයතන ව්‍යුහ වෙනස් නොකිරීම නිසා ඉන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසාම අප බොහෝ දේ අත්පත් කර ගැනීමට පෙර පිටස්තරයන් අපේ දේවල් අත්පත් කර ගනු ලැබුවා. එම නිසා ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම උපයෝගී කරගෙන ගැනීමට තිබූ සමහර අවස්ථා රටක් ලෙස අපට අහිමි වුණා.

ඉදිරියේදී ශ්‍රී ලංකා වරාය බහාලුම් ලක්ෂ 113ක මෙහෙයුම් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි. ඒ සඳහා සේවකයින් සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතුයි. එසේ නොකර රටක් ලෙස ඉදිරියට යන්න බැහැ.

මේ වසරේදී රුපියල් බිලියන 2550ක ආදයම් ඉලක්කයක් රේගු දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා

Previous article200 ක් වූ රට ඉඳි බද්ද රුපියල කරයි : 65 හේ සහල් බද්ද වෙනසක් නෑ !
Next articleසහල් පාලන මිල ඉවත් කරන්නේම නෑ- නලින්ද : වී 170 ට ගන්න නිසා සහල් මිල 300 පනිනවා – විශ්ලේෂකයන් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here