දැඩි පරීක්ෂාවකට ලක්විය යුතු බවට රේගුව විසින්ම රතු කාණ්ඩයෙන් ලේබල් කරන ලද බහාලුම් 323 ක් නිදහස් කිරීම පසුපස බස්නාහිර පළාත් ආණ්ඩුවේ ප්රබලයෙකු වන ප්‍රකට ව්‍යාපාරිකයකු සිටින බවට තොරතුරු වාර්තා වන බව ප්රගතිශීලී තරුණ ව්‍යාපාරය සඳහන් කරයි.
පරීක්ෂා නොකර වරායෙන් පිටකළ බහාලුම් සම්බන්ධව වගකීම රජය විසින් දරණ බව විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා ද පැවසූ බවත් ඒ අනුව අදාළ බහාලුම් වල තිබුණේ මොනවාද ඒවා කාගේද යන්න පිළිබඳව දැඩි සැකසංකා මතුවන බැවින් මේ සම්බන්ධව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ බවද ඔහු පැවසීය.
ප්රගතිශීලි තරුණ ව්‍යාපාරයේ කැඳවුම්කරු නීතීඥ නිරාශාන් විතානගේ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (27) අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු බවට නිර්දේශ කර ඇති බහලුම් තුල මෙරටට ගෙන්වීම තහනම් කර ඇති තහනම් ද්‍රව්‍ය බොහෝමයක් තිබිය හැකි බවද පැවසු ඔහු ගිනි අවි, මත්ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය, තහනම් ඖෂධ වර්ග ඇතුළු බොහෝ දෑ මේ අතර විය හැකි බවටද එහිදී පෙන්වා දුන්නේය.
එසේම වර්තමානයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විපක්ෂයේ සිටියදී ජාතික ආරක්ෂාව පිළිබඳව ටියුෂන් දීමට බංකුවක් රැගෙන එන ලෙස සිදුකළ ප්‍රකාශය සිහිපත් කළ නිරාශාන් විතානගේ වත්මන් ආණ්ඩුවේ හැසිරීම හමුවේ ජාතික ආරක්ෂාව පිළිබඳව ටියුෂන් දීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා කැඳවීමට සිදුව ඇති බවද සඳහන් කළේය