පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස හතරවන සතියේ දී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇත.
රටේ සෑම පළාතකම එකම දිනයකදී මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවත් දැනට පවතින තත්ත්වය මත එය අප්‍රේල් මස හතරවන සතිය වන විට නියත වශයෙන්ම පැවැත්වීමට හැකි වනු ඇති බවත් මැතිවරණය කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.
ඉදිරි මැතිවරණයට අදාළ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මේ වන විටය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතර එය සියලු පක්ෂවල සහයෝගෙන් සම්මත කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
මෙම කෙටුම්පතට එරෙහිව මේ වනවිට එක් පාර්ශවයක් අධිකරණ ක්‍රියාමාර්ගයක් වෙත යොමුව සිටින බවත් ඒ සම්බන්ධ කටයුතු අප්‍රේල් මස මුල් සතිය වන විට අවසන් වනු ඇති බවට ඉහත නිලධාරියා විශ්වාසය පළ කළේය.
මේ අතර මැතිවරණයට මුහුණ දීම සඳහා ජාතික ජන බලවේගය එහි නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා ජන හමු මාලාවක් ආරම්භ කර තිබේ.
විරුද්ධ පක්ෂය තවම එවැනි සූදානමක් නැතත් ඔවුන් පුළුල් පෙරමුණක් ගොඩනැගීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇත.