වී සඳහා කඩිනමින් සහතික මිලක් ලබා දෙන ලෙස ගොවි සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි.
ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි පෙන්වා දෙන්නේ මේ වන විට වී අස්වැන්න නෙළීම ආරම්භ වී ඇතත් රජය මගින් වී මිලදී ගැනීමට නිසි වැඩපිළිවෙළක් ආරම්භ වී නොමැති බවයි.
මේ අතර උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආශ්‍රිතව නෙලන වී අස්වනු ලබාගැනීම සඳහා පෞද්ගලික මෝල් හිමියන් සිය නියෝජිතයන් යොමුකර ඇති බවද ගොවීන් පවසයි.
වත්මන් ආණ්ඩුව පිහිටුවීමට පෙර මෙන්ම ඉන් පසුවත් ගොවීන් ගේ වී වෙනුවෙන් සාධාරණ පාලන මිලක් ලබාදීමට පොරොන්දු වූවත් එය මෙතෙක් ඉටුනොවූ කඩවුණු පොරොන්දුවක් බවට පත්ව ඇති බවටද ගොවීන් මැසිවිලි නගයි.
පෞද්ගලික අංශයට ඔවුන්ගේ සිතූ මනාපයට වී මිල තීරණය කිරීමට ඉඩදී පසුව රජය කුමන තීරණයක් ගත්තාද එය ඵලදායී නොවන බවද ගොවීන් පවසයි.
මීට පෙර ගොවි සමිති පිහිටුවීමට ක්‍රියාකල ජවිපෙ නායකයන් දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ව ඇති බවත්, දියවන්නාව තරණය කරන තුරු ගොවීන් වැදගත් කොට සැලකූ ඔවුන් දැන් දුරකථනයෙන් හෝ සම්බන්ධ කර ගැනීම දුෂ්කරව ඇති බවද ගොවි නියෝජිතයන් චෝදනා කර සිටියි.
එබැවින් ගොවි නියෝජිතයන් පවසන්නේ වී සඳහා වන රජයේ ප්‍රතිපත්තිය මාධ්‍ය සංදර්ශනයක් නොකර කඩිනමින් ප්‍රසිද්ධ කර ක්‍රියාත්මක විය යුතු බවයි.