Home අද CID යට ප්‍රකාශයක් ලබාදීමට මනූෂ සූදානම් – නීතීඥවරයා අධිකරණයට දැනුම් දෙයි

CID යට ප්‍රකාශයක් ලබාදීමට මනූෂ සූදානම් – නීතීඥවරයා අධිකරණයට දැනුම් දෙයි

4
0

දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම්දී ඇත.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් මස 21 වන දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා රජය හා දකුණු කොරියාව අතර කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍ර වලට ශ්‍රමිකයින් යොමු කිරීමකට අදාළ අත්සන් කරන ලද අවබෝධත ගිවිසුමේ ප්‍රතිපාදන වලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් මේ හරහා අපරාධමය වරදක් අනාවරණය වී තිබේදැයි විමර්ශන සිදුකරන බවත් එම නිලධාරියා සඳහන් කර තිබෙන අතර මෙම සිද්ධියට අදාලව මේ වන විට ප්‍රකාශ 35 ක් පමණ සටහන් කරගෙන තිබෙන බවද සඳහන් කර තිබේ

මෙම විමර්ශනයට අදාළව රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනයේ නියුතු පුද්ගලයින්ගේ ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා දැනට සිදුකර ඇති විමර්ශන වලට අනුව පෙත්සම්කාර මනුෂ නානායක්කාර මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා කරුණු අනාවරණය නොවන බවත් සඳහන් කර තිබේ.

මෙම අවස්ථාවේදී තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන බැවින් මීට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා තිබෙන අතර තම සේවාදායකයා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් ඉන් අනතුරුව වෙනත් දිනයක මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව අදාල පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 22 වනදා කැඳවීමටද නියම වී තිබේ.

Previous articleගල් ඔය අමුණ කැඩී යයි – කුඹුරු අක්කර දහස් ගණනක් ජලයෙන් යටවෙයි
Next articleක්ලීන් ශ්‍රී ලංකා ගැන පාර්ලිමේන්තු විවාදය 22-23 පැවැත්වේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here