ඊශ්‍රායල් ජාතිකයන් බහුලව ගැවසෙන ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කරගෙන, හිටපු LTTE සමාජිකයන් යොදා ගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම්කර තිබූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) ඊයේ (17) අධිකරණය හමුවේ කරුණු අනාවරණය කළේය.
ඊට අදාළ නඩුවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය තවදුරටත් කියා සිටියේ මෙම ත්‍රස්ත ප්‍රහාර සැලසුම සම්බන්ධව මේ වන විට පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
“ජනාධිපතිවරණය පැවැති වකවානුවට සමගාමීව ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කිරීම පසුගිය වසරේ ඔක්තෝබර් 07 සහ 08 දිනවල පුද්ගලයින් යොදවා සංචාරක කලාපය වීඩියෝ ගත කිරීම හා ඡායාරූප එක් රැස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පසුගිය ඔක්තෝබර් මස 19 වැනිදා සිටයි.
ඒ අතරින් යෝගරාජා නිරෝජන්, සුරේස් රංජන, ඩබ්ලිව් .ඒ. දොන් අමරසිරි යන සැකකරුවන්ගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බව අධිකරණයට කරුණු වාර්තා කරමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේය.”
“පළමු සැකකාර බිලාල් අහමඩ් කැස්බෑව ඩිපෝවේ බස් රථයකට 2008 වසරේදී බොම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටින ආනන්දන් සුගාදරන් යන අයව බන්ධනාගාරය තුළදී ඇසුරු කර ඇති බව ද අධිකරණයට දන්වා ඇත.”
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ දින අනූවක් රඳවාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් කියා සිටියේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් වරදකරුවන් වී වසර ගණනාවක් සිරගතව සිට නිදහස් වු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් යොදවා ගෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම්කර තිබූ බවයි.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.