උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට් පත් අන්තර්ජාලයට මුදා හැර තත්පර 42 ක් වැනි කෙටි කාලයක් තුළ එම ටිකට් පත් සියල්ල අලෙවි වීමේ අරුම පුදුම සිද්ධියක් සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වාර්තා වේ.
දුම්රිය ඊ ටිකට් පත් අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසු සංචාරක ව්‍යාපාරයේ නියුතු ඇතැම් පුද්ගලයන් සහ සමාගම් මේ ආකාරයට තත්පර කිහිපයක් තුළ ඒවා ඩැහැගෙන අධික මිල ගණන්වලට සංචාරකයින්ට අලෙවි කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව ගමන් වාරයක් සඳහා දිනකට වලංගු ඊ ටිකට් පත් මසකට පෙර අන්තර් ජාලයට මුදා හරින අතර විශේෂ තාක්ෂණික ක්‍රම භාවිත කරමින් සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ පුද්ගලයන් සහ ඇතැම් සමාගම් එම ටිකට් පත් ක්ෂණිකව ලබා ගැනීමේ ව්‍යාපාරයක් පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබෙන බව එහි නිලධාරියෙක් පැවසීය.
මේ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් පොලිසියට උපදෙස් ලබා දුන් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
ඊ ටිකට් පත් අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසු එය ක්ෂණිකව ලබාගන්නාා කණ්ඩායම් රුපියල් 2000ක් වටිනා ටිකට් පතක් සංචාරකයින් සඳහා රුපියල් 16000 කට අලවිකල අවස්ථා දුම්රිය දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
ටිකට්පත් අන්තර්ජාලයට මුදා හැර තප්පර 42 ක් තුල ඒ සියල්ල අලෙවි වීම අහඹු සිද්ධියක් නොවන බව පවසන ප්‍රසන්න ගුණසේන මහතා මසකට වරක් ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදා හරින සෑම අවස්ථාවකදීම ඉතා කෙටි වේලාවක් තුළ ඒවා අලෙවි වී ඇති බවත් සඳහන් කළේය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇති බවද නියෝජ්‍ය ඇමති වරයා වැඩිදුරටත් පැවසීය.