Home අද ට්‍රම්ප් මරා දැමීමට අපිට කිසිදු ඕනෑකමක් නෑ – ඉරානය

ට්‍රම්ප් මරා දැමීමට අපිට කිසිදු ඕනෑකමක් නෑ – ඉරානය

2
0

ඉරාන රජය කිසිම අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය නොකළ බවත්, ඇමෙරිකාවෙන් එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඉරාන ජනාධිපති අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයනේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට්‍රම්ප් ජයග්‍රහණය කළ අතර ඊට පෙර ජනාධිපතිවරණ රැලි අතරතුරේ ට්‍රම්ප් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ ගැනුණි. ඒ ඉකුත් ජූලි මාසයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් නුවර එළිමහන් වේදිකාවක ජනරැළියක් අමතද්දී, ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරයෙනි. ප්‍රහාරයෙන් ඔහුගේ කන් පෙත්ත ද තුවාල විය. ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ක්‍රියාත්මක වී වෙඩි තබා ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා මරා දැමීමට කටයුතු කර තිබුණි.

මෙම ඝාතන සිද්ධි සම්බන්ධයෙන් සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශයට දෝෂාරෝපණ එල්ල වූ අතර ඒ, ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලබා නොදුන් බවටය. ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් එෆ්.බී.අයි. කාර්යාංශය මැදිහත් වී විමර්ශන සිදු කළ අතර, එහිදී එම කුමන්ත්‍රණ පසුපස ඉරානය සිටිනවා යැයි අනාවරණය කර තිබුණි.
ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයේ සැකකරුවන් ලෙස, ඉරාන විප්ලවීය හමුදාවට සම්බන්ධ ඉරාන ජාතිකයන් කීප දෙනකු හඳුනාගෙන ඇති බව ද එෆ්.බී.අයි. පරීක්ෂකයෝ පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එහෙත් එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන්, ඉරාන මධ්‍යස්ථමතධාරී ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයට ඉරානයේ කිසිදු සම්බන්ධයක් නැති බවත්, ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානයට කිසිදු ඕනෑකමක් නැති බවත්ය.

ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකන් ජනාධිපති ධුරයේ කටයුතු කරද්දී, ඉරාන විප්ලවීය හමුදාවට සම්බන්ධ අතිරේක හමුදා බලඇණියක් ලෙස ද සැලකෙන කුද්ස් බලඇණියේ ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට අණදී තිබෙන අතර සුලෙයිමානී ඝාතනයත් සමඟ ඉරාන විප්ලවීය හමුදාව ට්‍රම්ප්ගෙන් පළිගන්නා බවට ප්‍රතිඥා දී තිබේ.

කෙසේ වෙතත් ට්‍රම්ප් ලබන 20 වැනිදා දිවුරුම් දීමෙන් පසු ඊශ්‍රායලය සමඟ එක් වී, ඉරානයට එරෙහිව දැඩි තීන්දු තීරණ ගනු ඇති හෙයින් ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉරාන ජනාධිපතිවරයා උත්සාහ ගන්නා බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Previous articleවෙලේ සුදාට බරපතල වැඩ සහිත වසර අටක සිර දඬුවම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here