Home අද ලැව්ගිනි හේතුවෙන් මේවන විට ඩොලර් බිලියන 50 කට අධික ආර්ථික අලාභයක් –...

ලැව්ගිනි හේතුවෙන් මේවන විට ඩොලර් බිලියන 50 කට අධික ආර්ථික අලාභයක් – මරණ සංඛ්‍යාවත් ඉහළට

4
0

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැතිරයන ළැව් ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින තද සුළං හේතුවෙන් ගින්න පාලනය කිරීම වඩාත් අසීරු වී ඇති බවත් ගින්න තවත් වේගයෙන් පැතිර යන බවත් එරට වාර්තා වැඩිදුරටත් පවසයි.

මේ වනවිට ලොස් ඇන්ජලීස් අවට ළැව් ගිනි ගැනීම් පහක් සක්‍රිය තත්ත්වයේ පවතින අතර පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් ලක්ෂ දෙකක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර ඇති බවද සඳහන් වේ.

ලොස් ඇන්ජලීස් හි පැලිසේඩ්ස්, ඊටන්, කෙනත්, හර්ස්ට් සහ ලිඩියා ප්‍රදේශවල මෙම ළැව් ගිනි පැතිර යමින් පවතින අතර ඉන් යම් පමණක් පාලනය කර ඇත්තේ පැලිසේඩ්ස් ප්‍රදේශයේ පැතිර යන ගින්න පමණක් බව සඳහන් වේ. ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත පොලිස් නිලධාරී රොබට් ලූනා පවසන්නේ, දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශ රැසකට ළඟා වීම ආරක්ෂිත නොවනු ඇති බවයි. එමෙන්ම මෙම ළැව් ගිනි හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව නියත වශයෙන්ම තවත් ඉහළ යනු ඇති බව ද ඔහු සඳහන් කර ඇති බවද සඳහන් වේ.

ලැව්ගිනි හේතුවෙන් ඇති වූ ආර්ථික අලාභය ඩොලර් බිලියන 50 ඉක්මවන බවට ඇස්තමේන්තු කර තිබෙන අතර එරට පෞද්ගලික අංශයන් සඳහන් කරන්නේ, මූලික ඇස්තමේන්තු වලට අනුව පාඩුව ඩොලර් බිලියන 52ත් 57ත් අතර පවතින බවයි. ගින්න ජනාකීර්ණ ප්‍රදේශවලට පැතිර ගියහොත් එම සංඛ්‍යාව ඉහළ යා හැකි බවද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ලැව්ගිනි හේතුවෙන් පැලිසේඩ්ස් හි ගොඩනැගිලි 5,300කට වඩා විනාශ වී ඇති අතර, ඊටන් හි ගොඩනැගිලි 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් විනාශ වී තිබෙන බවද වාර්තා වේ.

මේ අතර අතහැර දැමූ නිවාස කොල්ලකෑම සම්බන්ධයෙන් පොලීසිය පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වන අතර මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය පැනවීමටත් සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට මෙම ළැව් ගිනි පාලනය සඳහා ගිනි නිවන භටයන් 5000ක් පමණ යොදවා ඇති අතර, ගින්නෙන් අක්කර 35,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබේ. ගින්න පාලනය කරන කාර්ය මණ්ඩල, ජලය නොමැතිව අසීරුතාවට පත්ව ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Previous articleචම්පිකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here