ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 750,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබාගැනීම සඳහා ඇණවුමක් තවමත් රජය ලබා දී නොමැති බැවින් විදේශ ගමන් බලපත්‍ර හිඟය අඛණ්ඩව පැවතුණහොත් ශ්‍රී ලාංකිකයන්ට රට රැකියා සඳහා පිටත්වීමට තර්ජනයක් එල්ල විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා අනතුරු ඇඟවීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් රාශියක් ඉදිරි සති කීපයේදී ලැබීමට නියමිත බවත්, කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටීම සඳහා විදේශ ගමන් බලපත්‍ර අංකය සැපයීම අනිවාර්ය කරුණක් බවත් වාර්තා වේ.
මේ අතර රට රැකියාවලට යෑමට බලාපොරොත්තුවන්නන් හේතුවෙන් ඉදිරි සති කීපයේදී විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් 30,000 ක් පමණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, විදේශ රැකියා නියෝජිතයන් ද රට රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට කරදරයකින් තොරව විදේශ ගමන් බලපත්‍ර ලැබෙන බව සහතික කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත්වන ලෙස ඉල්ලා ඇති බව ද වාර්තා වේ.
දිගින් දිගටම රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ලැබෙන ඉල්ලීම් සපුරාලීමට අපොහොසත් වුවහොත් මෙරටට ලැබෙන විදේශ රැකියා අවස්ථා අනෙක් රටවල ශ්‍රම වෙළඳපොළ වෙත යොමුවීමේ අවදානමක් තිබෙන අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු අදාළ නිලධාරීන් සමග මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇතත් එහිදී මෙම ගැටලුවට නිශ්චිත විසඳුමක් ලැබී නොමැති බව ද වාර්තා වේ.