Home අද ජනාධිපති ධූරයේ තත්ත්වය පිළිබඳ ගැටළුවක් තිබෙනවා : චම්පිකගෙන් සැර චෝදනාවක් !

ජනාධිපති ධූරයේ තත්ත්වය පිළිබඳ ගැටළුවක් තිබෙනවා : චම්පිකගෙන් සැර චෝදනාවක් !

900
0

ජනාධිපතිවරයා මේසයට තට්ටු කර තමන්ට හිතු ගානකින් හාල් මෝල් හිමියන්ට එකඟ වෙන ගානකින් හාල් මිල වැඩි කරනවා නම් ඒ ජනාධිපති ධූරයේ තත්ත්වය පිළිබඳ ගැටළුවක් තිබෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි .

හාල් සහ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවටද හිටපු අමාත්‍යවරයා චෝදනාකර සිටියි .

එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය චම්පික රණවක මේ බව සඳහන් කර සිටියේ සහල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අද (11) එක්සත් ජනරජ පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි .

ආණ්ඩුව බලයට පත්වීමට පෙර හාල් මෝල් හිමියන්ට එරෙහිව දැඩි ප්‍රකාශ කළ නමුත්, බලයට පත්වීමෙන් පසු ඔවුන් සමඟ එකඟතාවකට පැමිණ හාල් මිල ඉහළ දැමීමට කටයුතු කළ බවද ඒ මහතා පෙන්වා දුන්නේය .

වී කිලෝ 100කින් නිපදවිය හැකි හාල් ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත පළ කළද, ලංකාවේ හාල් හිඟයක් නොමැති බවද ඔහු සඳහන් කළේය .

එහිදී හිටපු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය .

“මහ මෝල් හිමියන් කියනවා වී කිලෝ සීයකින් හාල් කිලෝ හැට දෙකයි දශම පහයි හදන්න පුළුවන් කියලා. කෘෂිකර්ම අමාත්‍යාංශය කියනවා වී කිලෝ සීයකින් හාල් කිලෝ හැට අටක් හදන්න පුළුවන් කියලා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාරයේ ඉන්න මාරඹේ මැතිතුමා ඇතුළු අය කියනවා නෑ හැත්ත දෙකක් පුළුවන් කියලා. කුඩා මෝල් හිමියෝ කියනවා පනස් දෙකයි පුළුවන් කියලා. ඇත්තටම මේ පවරගත්ත, පනස් දෙක ගත්තත්, හැට දෙක ගත්තත්, හැට අට ගත්තත්, හැත්තෑ දෙක ගත්තත් ලංකාවේ හාල් හිඟයක් නැහැ. මේ සංඛ්‍යා ලේඛන දිහා බැලුවහම. එහෙනම් මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඉතාම පැහැදිලියි මේ බෙදා හැරීම සහ සහල් තොග පවත්වා ගැනීම පිළිබඳව විධිමත් දැනුමක් වෙළඳ ඇමතිට හෝ කෘෂිකර්ම ඇමතිට හෝ ජනාධිපතිට හෝ ඒ අදාළ ආයතන වලට නෑ.”

හාල් මිල පාලනය කිරීමේ වගකීම වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට පැවරී ඇති බවත්, එම වගකීම ඔහු නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් රණවක මහතා ප්‍රකාශ කළ ඒ සම්බන්ධව වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය .

“වසන්ත සමරසිංහ මැතිතුමා වාණිජ ඇමති හැටියට දිවුරුම් දෙද්දී එතුමාගේ ගැසට් නිවේදනයේ, එතුමා බලයට පත් කරපු ගැසට් නිවේදනයේ, බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට මේ මේ ගැසට් නිවේදනයට අනුව තමයි, මේ නිල ලියවිල්ලට අනුව තමයි එතුමාට මේ බලය ලැබිලා තියෙන්නේ. අලි ගම් වැදිලා මේ විනාශ වෙනවා. මාෆියාකාරයෝ හාල් හංගං ඉන්නවා වගේ උත්තර දෙන්න බෑ. මේක තමයි ඔහුගේ වගකීම. ඒ නිසා ඒ වගකීම ඔහු ඉටු කරනවා ඇතියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

Previous articleපළාත් පාලන ඡන්ද විමසීමට 2024 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය උපයෝගී කර ගැනීමට යයි
Next articleපූජිත සහ නිලන්ත ගේ මූලික විරෝධතා සලකා බැලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here