Home අද පුනරුද පොලිසියටත් සාමකාමී විරෝධතා ඇලජික් : පිටකොටුව උණුසුම් වෙයි !

පුනරුද පොලිසියටත් සාමකාමී විරෝධතා ඇලජික් : පිටකොටුව උණුසුම් වෙයි !

24
0

“මරා දැමු මහර රැඳවියන්ට යුක්තිය ඉටුකරනු” මැයෙන් අද (11) කොළඹ පිටකොටුවේ පැවති සාමකාමී විරෝධතාවට පොලිසිය විසින් බාධාකළ බව අප වාර්තාකරුවන් පවසයි .

සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විසින් මෙම සාමකාමී විරෝධතාව සංවිධානය කර තිබුණු අතර මානව හිමිකම් සම්බන්ධව කටයුතු කරන නීතිඥවරුන් කිහිපදෙනෙකු සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ .

මෙම සාමකාමී විරෝධතාවයෙන් අනතුරුව “මරා දැමු මහර රැඳවියන්ට යුක්තිය ඉටුකරදීමට මැදිහත්වන ලෙස ඉල්ලා ජනාධිපති අනුර දිසානායක වෙත පෙත්සමක් භාරදීමට යාමටද පොලිසිය විසින් බාධා කරනු ලැබිණ.

කෙසේ වුවත් බාධා නොතැකූ විරෝධතාකරුවන් සාමකාමී ලෙස ජනාධිපති කාර්යාලය වෙත ගොස් පෙත්සම භාරදෙනු ලැබිණ .

මේ ආකාරයට විරෝධතාවක් සංවිධානය කිරීම මෙන්ම ජනාධිපතිවරයාට පෙත්සමක් භාරදෙනු ලැබුවේ , 2020 වසරේ මහර බන්ධනාරයේ නිරායුධ සිරකරුවන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට අපහසු තත්ත්වයක් තිබෙන හෙයින් මීට අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙනි .

එහිදී විරෝධතාකරුවන් සඳහන් කර සිටියේ නීතිපතිගේ මේ තීරණය හේතුවෙන් වින්දිතයන්ට යුක්තිය ඉටුනොවන බවයි . ඒ සම්බන්ධව ජනාධිපතිවරයාගේ අවධානය ලබාගැනීම තම අපේක්ෂාව බවත් , මෙකී අපරාධ සම්බන්ධව සොයාබලා යුක්තිය ඉටුකරන බවට ජනාධිපතිවරයා පොරොන්දුවී ඇති බවද ඔවුන් පැවසීය .

කෙසේ නමුත් මහර රැඳවියන්ගේ ඝාතනය සම්බන්ධ නඩුව ඉදිරියට පවත්වාගෙන නොයාමට අදාළ නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය අනාවරණය වූයේ මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම පසුගිය දෙසැම්බර් 05 වනදා අභියාචනාධිකරණයේදී කැඳවූ අවස්ථාවේය .

මෙම පෙත්සම මහර බන්ධනාගාර සිදුවීමේදී මිය ගිය සිරකරුවෙකු වන සම්පත් පුෂ්පකුමාර නමැත්තාගේ බිරිඳ විසින් ඉදිරිපත්කර තිබිණ .

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බවයි .

ඒ අනුව කටයුතු කරමින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කරන බවට නීතිපතිවරයා මීට පෙර අධිකරණයට දැනුම් දී තිබූ බව ද නීතිඥ ලක්ෂාන් ඩයස් පෙන්වා දුන්නේ ය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශානක විජේසිංහ සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට අපහසු තත්ත්වයක් තිබෙන හෙයින් මීට අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය දැඩි විරෝධය පළ කළ අතර එම පාර්ශවයේ නීතිඥ ලක්ෂාන් ඩයස් පවසා සිටියේ , මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා මීට පෙර දැනුම් දී තිබූ බවත් දැන් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව පැවසීම පිළිගත නොහැකි බවත් ය.

නීතිපතිවරයාට මේ ආකාරයෙන් ස්ථාවර දෙකක් දැරීමට හැකියාවක් නොමැති බවත් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව, අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 17 වන දා නැවත කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේ ය.

Previous articleඅදානි සමූහය : ඇමරිකාව අතහැර කොළඹ වරායට බහින්න තීන්දුවක් අරගෙන !
Next articleඉසුරුපායේදී පොලිස් නිලධාරීන්ට තුවාල කළේ බුද්ධි අංශ නිලධාරියා ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here