Home අද විදුලියේ බෝනස් දියව් : රන්ජන් දුන්න කාලයේ අන්තිම පැය 24 ඇරඹේ

විදුලියේ බෝනස් දියව් : රන්ජන් දුන්න කාලයේ අන්තිම පැය 24 ඇරඹේ

232
0

විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන්ට ප්‍රසාද දීමනා ලබාදීම සඳහා ලංකා විදුලි සේවක සංගමය විසින් පාලනාධිකාරිය වෙත ලබා දුන් කාලය අවසන් වීමට තවත් ඇත්තේ පැය 24කි .

රංජන් ජයලාල් විසින් මෙහෙයවනු ලබන ලංකා විදුලි සේවක සංගමය පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකරමින් දැනුම්දී තිබුණේ දෙසැම්බර් මස 10 වනදාට පෙර විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන් සඳහා ප්‍රසාද දීමනා ලබාදෙන ලෙසය .

පසුගිය වසර දෙක තුළදීම ප්‍රසාද දීමනාව ලබාදීමට හිටපු පාලනාධිකාරිය කටයුතු නොකළ බවත් ලංකා විදුලි බල මණ්ඩලය තවදුරටත් පාඩු ලබන ආයතනයක් නොවන නිසා මෙම ප්‍රසාද දීමනාව ලබාදිය යුතු බවත් එහිදී පෙන්වාදී තිබිණ.

එසේම පසුගියදා ලංකා විදුලි සේවක සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද රන්ජන් ජයලාල් සඳහන් කර සිටියේ මීට පෙර සේවක අයිතිවාසිකම් ඉල්ලා තම වෘත්තීය සමිති පාරට බැස්සත්, දැන් ආණ්ඩුව “අපේ” නිසා පාරට බැස අයිතීන් උද්ඝෝෂණය කරන්න දෙයක් නැති බවත්, දැනුම්දීම සිදුකළ පසුව සේවක අවශ්‍යතා ඉටුකළ යුතු බවත්ය .

එබැවින් අදාළ සිහි කැඳවීම සිදුකර ඇති බවද රන්ජන් ජයලාල් පැවසු අතර තම ඉල්ලීම් ඉටුවීම සම්බන්ධව විශ්වාසයක් තිබෙන බවත්, මෙය “අපේ” ආණ්ඩුව බැවින් විදුලි බල මණ්ඩලය ද පාලනය විය යුත්තේ “අපි” හරහා විය යුතු බවත් ඔහු සඳහන් කළේය. එසේ නොවුණහොත් තමන්ට දෂ්ට කිරීමට සිදුවන බවද රන්ජන් ජයලාල් අවධාරණය කර සිටියේය.

කෙසේ වුවත් ජවිපෙ / ජාතික ජනබලවේගය පක්ෂයේ වෘත්තීය සමිති නායකයා මේ ආකාරයට සේවක ප්‍රසාද දීමනා ඉල්ලා සිටින්නේ, ඉදිරි මාස 6ක කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනය නොකිරීමට විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත යෝජනා කර ඇති පසුබිමකය. නමුත් ඔක්තෝබර් මාසයේ ඉදිරිපත් කළ විදුලිබල මණ්ඩලයේ යෝජනා කරහා 6%ට වැඩි මිල පහත දැමීමක් යෝජනා කර තිබුණු අතර එහිදී මහජන උපයෝගීතා කොමිසමේ ප්‍රතිචාරය වූයේ ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බැවින් නැවත යෝජනා ඉදිරිපත් කරන ලෙසය .

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනයක් නොකිරීමට දෙසැම්බර් 06 වනදා ඉදිරිපත් කළ යෝජනාව මඟින් සිදුකෙරිණ .

ඒ සමඟ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පවසා තිබුණේ, අඩු ආදායම්ලාභීන් සඳහා දැනටමත් 80% ක සහනාධාරයක් ලබා දෙන අතර එම අලාභය වෙනත් පාරිභෝගික කාණ්ඩවලින් පියවා ගැනීමට සිදුව ඇති හෙයින් ඉදිරියේදී තවදුරටත් එම පිරිසට එම සහන වැඩි කළ නොහැකි බවය .

විදුලිබල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය උපුටා දක්වමින්මාධ්‍ය කිහිපයකම මේ බව වාර්තා කර තිබු අතර විදුලිබල මණ්ඩලයෙන් රජය ලාබයක් අපේක්ෂා නොකරන නමුත් ආදායම හා වියදම ගලපා ගනිමින් කටයුතු කළ යුතුව ඇතැයි ද එබැවින් සහනාධාරය දැනට පවතින ප්‍රමාණය ඉක්මවා යා නොහැකි බවද ප්‍රකාශ කරයි.

මීට අමතරව ලබන වසරේ (2025) මුල් මාස 6 තුළ පෑවිලි තත්ත්වයකට මුහුණදීමට සිදුවීම , එවිට ජලවිදුලිය නොවන වෙනත් මාධ්‍ය හරහා විදුලිබලය නිෂ්පාදනය කිරීමට සිදුවීම ඇතුළුව විදුලි ගාස්තු පහත හෙළීමට නොහැකි හේතු ගණනාවක් විදුලිබල මණ්ඩලය පාර්ශ්වයෙන් ඉදිරිපත්වී තිබේ .

එසේ වුවත් විදුලි පාරිභෝගික සංගම් අවධාරණය කරන්නේ , මේ වන විට 60%කට ආසන්න ප්‍රමාණයක් විදුලිය නිෂ්පාදනය කරන්නේ ජලාෂ ආශ්‍රිතව බැවින් විදුලි ගාස්තුවේ පැහැදිලි අඩු කිරීමක් සිදුකළ හැකි බවය. එසේම ජනාධිපති අනුර දිසානායක සිය මැතිවරණ වේදිකාවේදී 30%කින් විදුලි ගාස්තු අඩු කිරීමට අවස්ථා රැසකදී පොරොන්දුවූ බවද ඔවුන් සිහිපත් කරයි .

කෙසේ වුවත් මේ වන විට බොහෝ පාර්ශ්වයක අවධානය යොමුව ඇත්තේ විදුලි ගාස්තු අඩු කිරීමට හැකියාව ඇති මොහොතේ ඒ සඳහා කටයුතු නොකර ජවිපෙ වෘත්තීය සමිති ඉල්ලීම් අනුව සේවක ප්‍රසාද දීමනා ලබාදීමට පමණක් විදුලි බල මණ්ඩලය කටයුතු කරයිද කියාය.

Previous articleරිලා අවුලෙන් ආණ්ඩුව බේරගන්න මාලිමා හිතවාදී පරිසරවේදීන් එයි !
Next articleධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here