Home අද වගා හානි සඳහා සාධාරණ වන්දියක් දෙනු : ගොවි සංගම් නාමල්ට මුල මතක්...

වගා හානි සඳහා සාධාරණ වන්දියක් දෙනු : ගොවි සංගම් නාමල්ට මුල මතක් කරයි !

156
0

නව රජය කළ යුතුව ඇත්තේ පරණ චක්‍රලේඛ අහෝසිකර අයහපත් කාලගුණය හේතුවෙන් වගා හානි වූ ගොවියන් වෙනුවෙන් අක්කරයක් සඳහා රුපියල් ලක්ෂයක් ලබා දෙන වැඩපිළිවෙළ සකස් කිරීම බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක මේ බව පැවසූ අතර කුඹුරු අක්කරයක් වගා කිරීම සඳහා ගොවි ජනතාවට රුපියල් ලක්ෂයකට වඩා මුදලක් වැයවී ඇති බවද ඔහු පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ද විපක්ෂයේ සිටියදී අරගල කළේද වගා හානි වන්දි වැඩිකර ගැනීමට බවද ඒ මහතා සිහිපත් කළේය.

ගොවි ජනතාවට සිදුව ඇති වගා හානිය වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ලබාදීමට වත්මන් රජය කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව තීන්දු ගැනීමට සිදුවන බවද පුංචිරාළ රත්නායක පැවසීය.

කෙසේ වුවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසා සිටියේ වගා හානි වූ අක්කරයකට දැනට දීමට හැකි උපරිම වන්දි මුදල රුපියල් 40,000ක් පමණක් වන බවයි. මේ මුදල ප්‍රමාණවත් නොවන බවට ගොවින් කරන ප්‍රකාශ සත්‍ය නමුත් දැනට පවතින වගා හානි වන්දි දීමේ නීති ප්‍රතිපාදන ක්‍රම වේදය මත දිය හැකි උපරිම වන්දි මුදල මෙය වන බවද ඔහු එහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දිවයින පුරා සිටින වගා හානි වූ ගොවි ජනතාව පවසන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශය පිළිගත නොහැකි බවයි. මේ වන විට ආණ්ඩුවට තිබෙන බලය අනුව එක් තීන්දුවක් ගෙන පැරණි චක්‍ර ලේඛන වෙනස් කළ හැකි බව පෙන්වාදෙන ඔවුන් ඒ සඳහා අවශ්‍ය වන්නේ ගොවි ජනතාව සම්බන්ධයෙන් සංවේදී වීම පමණක් බවද සඳහන් කරයි .

Previous articleපොහොට්ටුවේ පාලක ලේකම් රේණුක CID අත්අඩංගුවට
Next articleදෙසැම්බර් 7ට පෙර බදු ගෙවන්නන්ගේ ආදායම් වාර්තා එවන්න : දේශීය ආදායම දන්වයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here