උතුරේ සැමරුම් උත්සව 244 ක් පැවැති බවත් ඉන් දහයක LTTE යට සම්බන්ධ යම් සංකේත ප්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය පැවසූ බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කර අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 2ක්, පේදුරු තුඩුව අධිකරණයේ නඩු 4ක් සහ යාපනය අධිකරණයේ නඩු 1ක් ලෙස නීතිය ක්‍රියාත්මක කර වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවද ඔහු පැවසීය.
ඇමැති ආනන්ද විජේපාල මේ බව සඳහන් කර සිටියේ මහවිරු සැමරුම්, අත්අඩංගුවට ගැනීම් සහ ජාතිවාදී කටයුතු පිළිබඳ අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
උතුර සහ දකුණ අතර වාර්ගික නොසන්සුන්තාවක් ඇති කිරීමට කිසියම් දේශපාලන කණ්ඩායමක් ක්‍රියා කරන බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
අදාළ කණ්ඩායම සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවත් ප්‍රචාරය කරමින් සිටින බවද පැවසූ ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“පසුගිය දිනවල මහාවිරූ සැමරුම් පිළිබඳ කතාබහ සමාජයේ නිර්මාණය වුණා. මියගිය ඥාතීන් සිහිපත් කිරීමට අයිතියක් තිබෙන බවට අප පිළිගන්නවා.
එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයට අයත් කොඩි ප්‍රදර්ශනය කරමින් සැමරුම් කරන්නට ඉඩක් නැති බවට මා කළ ප්‍රකාශයක් විකෘති කරමින් සාවද්‍ය අර්ථයක් එන ලෙස ප්‍රකාශයට පත්කර තිබුණා.
ඒ ගැන මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා.ඊට විමර්ශන කෙරෙනවා. උතුරේ සැමරුම් උත්සව 244 ක් පැවැති බවත් ඉන් දහයක යම් සංකේත ප්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය පවසනවා.ඒ ගැන පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
උතුරෙහි පැවැත්වෙන සැමරුම් උත්සව පාදක කරගෙන සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන විකෘති ප්රතිචාරයන් විශාල ප්‍රමාණයක් සංසරණය වුණා. උතුරේ පැවැත්වූයේ යැයි ඒත්තු ගැන්වෙන අයුරින් පසුගිය වසර වල පැවැත් වූ එල්ටීටීඊ සැමරුම් වල ඡායාරූප උපයෝගී කර ගනිමින් පළ කර තිබුණා.
එම ඡායාරූප අන්තර්ජාලයෙන් බා ගත කර තිබෙනවා. සමහර ඒවා විදේශ විදේශවල පැවැත්වූ උත්සව. දකුණේ සමාජ මාධ්‍ය මෙහෙයවන සංවිධානාත්මක පිරිසක් ජාතීන් අතර අසමඟිය නිර්මාණය වෙන අයුරින් මේ ව්‍යාජ ප්රවෘත්ති නිර්මාණය කර තිබෙනවා”