Home අද ඉන්දියාවට ගිහින් ජනාධිපති කතා කළේ මොනව ද?

ඉන්දියාවට ගිහින් ජනාධිපති කතා කළේ මොනව ද?

3515
0

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අති දුෂ්කර කාලපරිච්ඡේදයන්හිදී ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) නව දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවූ අතර එහිදී මේ බව පවසා තිබේ.

එහිදී ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට, ඉන්දීය රජයට සහ ජනතාවට එලෙස සිය කෘතඥතාව පළ කරන බවය.

ශ්‍රී ලංකාවේ සැමට ආර්ථික පුනර්ජීවනය, තිරසාර සංවර්ධනය සහ යුක්තිය සාක්ෂාත් කරගැනීම සඳහාවූ තම කැපවීම යළිත් තහවුරු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වාදී තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ආර්ථික, යටිතල පහසුකම් සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයේ අත්කරගෙන ඇති ප්‍රගතිය ඉන්දීය නිල සංචාරයේ නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඇගයීමට ද ලක්විය.

ඉන්දියාවේ සංවර්ධනය අසල්වැසි රටවලට සහ ඉන්දියානු සාගර කලාපයට ධනාත්මක බලපෑමක් ඇති කරන බවද ඔහු අවධාරණය කළේය.

මේ අතර ප්‍රතිසන්ධානය සහ බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මක් සහිතව සියලු පක්ෂ නායකයින්ට පොදු එකඟතාවකට පැමිණෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ආරාධනය මෝදි අගමැතිවරයාගේ ඇගයීමට ලක්වී තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කිරීමට සහ පුළුල් කිරීමට සිය ඉන්දීය සංචාරය ඉතා වටිනා අවස්ථාවක් සළසා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය. තරඟකාරී ලෝකය තුළ අන්‍යෝන්‍ය සමෘද්ධිමත්භාවය ළඟා කර ගැනීම සඳහා දෙරට අතර පවතින ශක්තිමත් භූගෝලීය සහ ශිෂ්ඨාචාරමය සබඳතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා ඉන්දියානු සහාය ඇතිව නව උසස් අධ්‍යාපන ආයතන බිහි කිරීම තුළ දැනුම සහ කුසලතාවලින් පරිපූර්ණ ශ්‍රී ලාංකික තරුණ පරපුරක් බිහි කිරීම මඟින් රටේ ජාතික සංවර්ධනයට ලබා ගත හැකි සක්‍රීය දායකත්වය පිළිබඳව ද අවධාරණය කළේය

Previous articleනව දිල්ලියේදී ජනපති ඉන්දීය අගමැති හමුවෙයි
Next articleඉන්දියානු සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනපතිගේ අපේක්ෂාවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here