සියලුම තෙල් බෙදුම්කරුවන්ට නැවත හැකි ඉක්මනින් යථා පරිදි ඛනිජ තෙල් ඇනවුම් ලබා ගන්නා ලෙස දන්වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ කුසුම් සඳනායක පවසයි.
තමන්ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්වීමත්, රජයේ පාර්ශ්ව තමන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදීමත් හේතුවෙන් මේ තීරණය ගනුලැබූ බව ඔහු පවසයි.
කුසුම් සඳනායක මේ බව සඳහන් කර සිටියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ අනුව රජයත් සමඟ සාකච්ඡා කර පවතින ගැටලුවට විසඳුම් සෙවීමට අපේක්ෂා කරන බවද එහිදී ඔහු සඳහන් කළ අතර අද (04) දිනයේදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවද පැවසීය .
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කුසුම් සඳනායක මෙසේද පැවසීය .
“සියලුම බෙදුම්කරුවන්ට නැවත යථා පරිදි නැවත ව්‍යාපාරය පෙර පරිදිම කරගෙන යන්න කියලා. මොකද අපිට තේරුණා අපි ගත්ත තීරණය අනුව රටේ මහජනතාවට හානියක් වෙනවා කියලා. අපිට කවුරුවත් කවුරුත් සාකච්ඡාවක් නොදීම තුළින් තමයි මේක මේතරම් දුරදිග ගියේ. දැන් ඒගොල්ලොත් තීරණය අරන් තියෙනවා මේක ඒකපාර්ශවීය කරන්න බෑ මේ අයත් එක්ක සාකච්ඡා කරලා තමයි කරන්න ඕනේ කියන එක. ඒ නිසා අපි ගරු කරනවා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමාටත් එතුමා අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා හෙට උදේ 09ට ඇවිල්ලා රැස්වීමට සහභාගී වෙන්න කියලා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා සියලුම බෙදුම්කරුවන්ට හැකි ඉක්මනින්ම පෙර පරිදිම ව්‍යාපාරයට එන්න ඇවිත් ඒ බෙදුම්කටයුතු පෙර පරිදිම කරගෙන යන්න කියලා”