Home අද සූර්ය බලාගාර ටෙන්ඩරයේ අක්‍රමිකතාවක් – අලාභය බිලියන 3 පනියි : ඇමති ඉංජිනේරු...

සූර්ය බලාගාර ටෙන්ඩරයේ අක්‍රමිකතාවක් – අලාභය බිලියන 3 පනියි : ඇමති ඉංජිනේරු කුමාරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි !

436
0

සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයේ සූර්ය බලාගාර ටෙන්ඩරයක් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 3 කට අධික අලාභයක් සිදුවන බව පවසමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

එස්. තුරෙයිරාජා සහ සම්පත් බී. අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

මෙම නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුගේ වියදමින් පෙබරවාරි 24 වැනි දිනට පෙර කුරියර් සේවාව හරහා නොතීසි යොමුකරන ලෙසද දැනුම්දී තිබේ.

වාර්තා වන ආකාරයට පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වාදී ඇත්තේ මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා තිබුණත් අඩුම ලංසුව නොසලකා වැඩි ලංසුවකට එම කොන්ත්‍රාත්තුව ලබාදී රජයට සැලකිය යුතු මූල්‍ය පාඩුවක් සිදුවූ බවයි.

මෙකී ටෙන්ඩරය මඟින් සිදුවන අතිවිශාල පාඩුව මෙන්ම අනෙකුත් කරුණු අනුව විශාල මහජන උනන්දුවක් ඇති බවත් හදිසි කටයුත්තක් සේ සලකා කඩිනමින් එහි සඳහන් කරුණු තහවුරු කිරීමට දින ලබාදෙන ලෙසට පෙත්සම්කාර මිලින්ද ප්‍රසන්න මඩුගල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා තිබේ.

පෙත්සමේ සියලු වගඋත්තරකරුවන්ට නොතිසි සහ පෙත්සමට අදාළ ලේඛන යැවීමට පියවර ගත් බවද නීතිඥ සුරේන් ප්‍රනාන්දු විසින් විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් දැනුම්දී ඇත.

ඒ අනුව අමාත්‍ය කුමාර ජයකොඩි, ලංකා විදුලිබල මණ්ඩලය රිවිධනවි ප්‍රයිවට් ලිමිටඩ්, ලක්දනවි ලිමිටඩ්, වින්ස්පෝර්ප් ලිමිටඩ්, බ්ලු සර්කල් පෞද්ගලික සමාගම, ඇතිමලේ ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගම, මහාචාර්ය කේ. ටී.එම්. උදයංග හේමපාල (ලේකම් විදුලිබල අමාත්‍යාංශය) හා ඩබ්ලිව්. එම්. ඩී. එල් ප්‍රනාන්දු (කැබිනට් මණ්ඩල ලේකම්) යන වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කෙරිණි.

යෝජිත සූර්‍ය විදුලි බලාගාරය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ටෙන්ඩර් කැඳවා තිබූ බව මෙන්ම එම ටෙන්ඩර් කැඳවීමේදී , ඉදිරිපත් වූ මිල ගණන් අනුව කිලෝවොට් පැයක් සඳහා ඇමරිකානු ඩොලර් 12.2ක ටෙන්ඩරය ඉදිරිපත් කළ පෙරකී වගඋත්තරකාර සමාගමට එකී ටෙන්ඩරය ලබාදී තිබූ බව 2025.01.21 වැනිදා මාධ්‍ය මඟින් තමා දැනගත් බවත් පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

ඇමරිකානු ඩොලර් සත 8කට කිලෝවොට් පැයක  විදුලිය නිපදවීමට ඉදිරිපත් වූ සමාගම නොසලකා හැරීමෙන් එම අක්‍රමිකතාව සිදුවූ බවත් සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබූ පෙත්සම්කරු ටෙන්ඩරය ලබාගත් වගඋත්තරකාර සමාගම ඇමරිකානු ඩොලර් සත 8ක මුදලකට විදුලිය  ලබා දීමට එකඟ වී ඇති බවද අධිකරණයට පෙන්වා දී තිබිණි.

කෙසේ නමුත් පෙරකී මුදලට අමතරව සම්ප්‍රේෂණ පහසුකම් සැපයීම වෙනුවෙන් වසර දහයක් දක්වා කාලයකට අවශ්‍ය ප්‍රතිපාදන ගෙවීමට රජය එකඟ වී ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්කරු පෙන්වා දී තිබිණි. මුල් ටෙන්ඩරයේ සැපැයුම් ගාස්තු ඇමරිකානු ඩොලර් සත 8 දක්වා අඩු කළත් සම්ප්‍රේෂණ පහසුකම් ගාස්තු ටෙන්ඩරය ලබා ගැනීමේදී අතිවිශාල ලෙස ඉහළ දැමීම නිසා රජයට රුපියල් බිලියන 3.3ක අලාභයක් සිදුවන බවත් වගඋත්තරකරුවන්ගේ එකී අනිසි ක්‍රියාව නිසා රජයට සිදුවන හානියේ අලාභය වක්‍රව ගෙවීමට සිදුවනුයේ රටේ පොදු ජනතාවට බවත් පෙත්සම්කරු එමඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබිණි. එබැවින් තමන්ගේ මූලික අයිතිවාසිකම් එමඟින් උල්ලංඝනය වන්නේ යැයි තීන්දු කරනා ලෙසටද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

Previous articleජාතික ආරක්ෂාවට කිසිඳු තර්ජනයක් නෑ : වත්මන් සිදුවීම් කවුරහෝ හස්තයක්ද සැකයි – ජනපති කියයි!
Next articleවිශේෂ දළදා ප්‍රදර්ශනයක් ගැන ජනපති අනුර කියයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here