Home අද රාජ්‍ය – පෞද්ගලික අංශ වල වැටුප් වැඩිවෙන හැටි මෙන්න !

රාජ්‍ය – පෞද්ගලික අංශ වල වැටුප් වැඩිවෙන හැටි මෙන්න !

833
0

වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කරන බවත් ඒ අනුව රාජ්‍ය අංශයේ අවම වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000ක් දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමට යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (17) පාර්ලිමේන්තුවේදී 2025 අයවැය ඉදිරිපත් කරමිනි.

ඒ අනුව, දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කිරීම, වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%කින් ඉහළ නැංවීම, රාජ්‍ය අංශයේ සියලු ම සේවකයින්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැළපීම ජනාධිපතිවරයා 2025 අයවැය යෝජනා යටතේ ඉදිරිපත් කර සිටියේ ය.

එසේම මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රු. බි. 325ක් බවත්, නමුත් පවතින රාජ්‍ය මූල්‍ය බාධා සැලකිල්ලට ගෙන මෙම වැටුප් වැඩිවීම අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය .

ඒ අනුව මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රු. 5,000ක් සහ ඉතිරි මුදලින් 30%ක් 2025 වසරේ අප්‍රේල් මස සිට ගෙවනු ලබන අතර, ඉතිරි 70% 2026 වසරේ ජනවාරි සහ 2027 වසරේ ජනවාරි මාසවලදී කොටස් වශයෙන් ගෙවීමට නියමිතය.

2025 ජනවාරි මස 1 වන දා හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කිරීම සිදුකරන බවත් රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය සීමාව රු. 250,000 සිට රු. 400,000 දක්වා ඉහළ දැමීමටත් යෝජනා කෙරිණ.

තවද පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මස රුපියල් 27,000ක් ලෙස සහ 2026 වසරේ සිට රුපියල් 30,000ක් ලෙස ඉහළ නැවීමටද ජනාධිපතිවරයා යෝජනා කර සිටියේ ය.

වතු කම්කරුවන්ගේ යෝජිත රුපියල් 1,700ක දෛනික වැටුප ලබා දීමට රජය මැදිහත් වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය .

Previous articleඅයවැය කතාවේදී ජනපති අදානි ව්‍යාපෘතිය දැඩිව විවේචනය කරයි
Next article2025 අයවැය හිඟය රුපියල් බිලියන 2200 යි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here