ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක සමඟ ඇතිවූ මත ගැටුමක් මෙකී ඉල්ලා අස්වීමට හේතුවී තිබේ. සමාජ මාධ්‍ය වාර්තාද මේ බව සඳහන් කර තිබේ.
BBC සිංහල සේවය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මෙම ඉල්ලා අස්වීම සනාථ කරමින් පවසා ඇත්තේ පෞද්ගලික හේතුවක් මත එය සිදුවූ බවයි.
මේ සම්බන්ධව රමාල් සිරිවර්ධන වෙතින් විමසීම සඳහා BBC ය ඔහු අමතා ඇති නමුත් , ඒ මහතා දුරකථනයට ප්‍රතිචාර දක්වා නැත.
එහෙත්, ඉල්ලා අස්වීම පිළිබඳව විමසමින් වට්ස්ඇප් ඔස්සේ බීබීසි සිංහල සේවය යොමු කළ කෙටි පණිවිඩ කිහිපයට පිළිතුරු දෙමින්, “අතිශය පෞද්ගලික කරූණක් නිසා ඉල්ලා අස්වූ” බව සඳහන් කර ඇත.
බිමල් රත්නායක ඇමැතිවරයා සමග මත ගැටුමක් සිදුවු බවට පැතිර යන රාවය ගැන ද BBC ය විමසා ඇති අතර, ඊට “කිසිදු මත ගැටුමක් ඇති නොවිණි,” යනුවෙන් ප්‍රතිචාර දක්වා ඇත.
නැවත රජයේ වෙනත් තනතුරක් ලබා දුනහොත් බාර ගන්නේ දැයි යොමු කළ පැනයට ප්‍රතිචාර දක්වමින් රමාල් සිරිවර්ධන ,
“මා මෙම රජය බලයට පත්කිරීමට ගම්පහ ආසනයේ ඉතාමත් ම ක්‍රියාකාරීව පසුගිය අවුරුදු තුනේදි ම වැඩ කළේ කිසිදු තනතුරක් අපේක්ෂාවෙන් නෙමෙයි,” යනුවෙන් සඳහන් කර ඇත.
රමාල් සිරිවර්ධන අවස්ථා කිහිපයකදී, විවිධ රජයයන් යටතේ මීට ඉහතදී තුන් වරක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරයට පත් කර තිබේ.
කෙසේ වුවත් මේ ඉල්ලා අස්වීම වාර්තා වන්නේ රාජ්‍ය ආයතනයක් සඳහා වත්මන් රජය විසින් පත් කරන ලද දෙවැනි සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම වශයෙනි. මීට පෙර රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ සෙනේෂ් බණ්ඩාර දිසානායක ද හේතුව පුද්ගලිකයි යනුවෙන් පවසමින් ඉල්ලා අස්විය.
ඒ අවස්ථාවේ ද වාර්තා වූයේ සෙනේෂ් බණ්ඩාර ගේ ඉල්ලා අස්වීම් විෂය භාර අමාත්‍යවරයා සමඟ ඇතිවූ මතභේදයක් මත සිදුවූ බවයි.
නමුත් සෙනේෂ් බණ්ඩාර පසුව සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ එම තනතුර භාර ගනු ලැබුවේ මාස තුනක කාලයක් සඳහා පමණක් බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ආරාධනයකට අනුව 2025 නව වසරේ සිට තවත් ජාතික වගකීමක් දරමින් කටයුතු කිරීමට සිදුව ඇති බවයි. නමුත් මෙතෙක් එවැනි තනතුරක් භාරගත් බවක් වාර්තා නොවේ.