දකුණු කොරියාවේ ඊයේ(29) සිදුවූ විශාලතම මගී ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ 179 දෙනා වෙනුවෙන් එරට තුළ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම අනතුර හේතුවෙන් මියගිය 179 දෙනාගෙන් 141 දෙනෙකු DNA විශ්ලේෂණය හෝ ඇඟිලි සලකුණු එකතු කිරීම මගින් ඔවුන්ගේ අනන්‍යතාව හඳුනාගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට, මෙම ගුවන් යානය ගොඩබෑමේදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 179ක් වන අතර අනතුර වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය සමග 181 දෙනෙකු ගමන් කර තිබේ. අනතුරින් දිවි ගලවා ගැනීමට හැකි වී ඇත්තේ දෙදෙනෙකුට පමණක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ මුආන් දක්වා ගමන් ඇරඹු මෙම ගුවන් යානයේ එක් එන්ජිමක පිපිරීමක් මුආන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඉහළ අහසේදී සිදුව තිබූ අතර එය කුරුල්ලෙකු ගැටීම නිසා ඇතිවූවක් බවද වාර්තා වේ.
කෙසේ වෙතත් යානය ගොඩ බැස්ස වීමේදී රෝද පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවීම නිසා යානය ධාවන පථය දිගේ ඇදී ගොස් ආරක්ෂිත බැම්මේ වැදී යානයේ අඩක් කැඩී ගොස් ගිනි ගැනීමට ලක්ව තිබේ.