ආනයනික සහල් සඳහා පනවා ඇති ආනයනික බද්ද ඉවත් කළහොත් රුපියල් 135ට එම සහල් කිලෝවක් ආනයනය කළ හැක හැකි නමුත් බද්ද අඩු කළහොත් නැවත අර්බුදයක් ඇතිවන බව වෙළඳ හා ආහාර ඇමති වසන්ත සමරසිංහ පවසයි.
බද්ද මඟින් කෙරෙනුයේ දේශීය ගොවියා සුරක්ෂිත කිරීම බවද ඔහු සඳහන් කරයි.
දැනට වෙළඳපොලේ පවතින්නේ රුපියල් 110-115ට පමණ ගත් මිලට ගත් වී වලින් නිෂ්පාදනය කරන සහල් බවද පැවසූ ඔහු බද්ද අඩු කලහොත් දේශීය සහල් වෙළෙඳපොළට නිකුත් කිරීම නතර වනු ඇති බවද පෙන්වා දෙයි.
එනිසා සහල් සඳහා පනවා ඇති ආනයනික බද්ද අඩු කළහොත් ගොවියාට බරපතළ ප්රශ්නයක් ඇතිවන බවද වසන්ත සමරසිංහ ඇමතිවරයා කියා සිටියි.
ඇමතිවරයා මේ සඳහන් කරනුයේ ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65ක බද්ද පිළිබඳව ය. කෙසේ වුවත් සහල් ආනයනකරුවන් පවසන්නේ රුපියල් 15කින් පමණ මෙම බද්ද අඩු කළ යුතු බවයි. නැතහොත් තමන්ට සහල් ආනයනය දුෂ්කර වනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි. පසුගියදා සහල් ආනයනකරුවන් අනතුරු අඟවා කියා සිටියේ මතුව ඇති තත්ත්වය හමුවේ ඔවුන් සහල් ආනයනයෙන් ඉවත් වෙන බවයි.
එසේම පාරිභෝගිකයන් චෝදනා කරන්නේ සහල් මිල අධික බැවින් තමන් පීඩාවට පත්ව ඇති බවයි.