කථානායක අශෝක රන්වල මහතා ඇතුළු ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය, ආචාර්ය, ඉංජිනේරු, වෛද්‍ය ආදී සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
වත්මන් කථානායකවරයාගේ ආචාර්ය උපාධිය මෙන්ම ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ ඉංජිනේරු උපාධිය සහ නියෝජ්‍ය කතානායකවරයාගේ වෛද්‍ය උපාධිය සම්බන්ධව මේ වන විට රට තුළ මතුව ඇති ගැටළු සහගත හා අර්බුදකාරී තත්වය නිරාකරණය කර ගැනීම සඳහා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පැවසීය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරන ලෙස ඉල්ලීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
ජාතික ජන බලවේගය ආණ්ඩුව ජනතාව හමුවේ සුජාතභාවය පෙන්වා ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම්වලින් සමාජයේ පෙනී සිට ආණ්ඩුවේ හා රජයේ ඉහළ තනතුරු ලබාගෙන සිටීම සම්බන්ධව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන් තාමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට එම මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ තනතුරු දරන මැති ඇමතිවරු මෙන්ම කථානායක හා නියෝජ්‍ය කතානායකවරයා වරයාට එල්ල වී තිබෙන චෝදනා කිසිසේත් සුළු කොට තැකිය නොහැකි බව පෙන්වා දෙන එම මන්ත්‍රීවරයා මොවුන් මුල සිටම සිදුකර ඇත්තේ ජනතාව මුළා කිරීම බව අවධාරණය කළේය.