Home අද IMF ගැන විවාදෙකට ජනපති සජිත්ට සහ අනුරට අභියෝග කරයි

IMF ගැන විවාදෙකට ජනපති සජිත්ට සහ අනුරට අභියෝග කරයි

1015
0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුධය විසඳීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම සංශෝධනය කරන්නේ කෙසේදැයි අනුර සහ සජිත් දෙදෙනාම පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවත් ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ප්‍රසිද්ධ සාකච්ඡාවක් පැවැත්වීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(25දා) යෝජනා කළේය.
එම සාකච්ඡාව සියලුම මහජනතාවට නැරඹීමට හැකිවන පරිදි සියලුම රෑපවාහිනි නාළිකා ඔස්සේ විකාශය කළ යුතු බවත් එවිට ඡන්දය දිය යුත්තේ කාහටදැයි පැහැදිලිවම ජනතාවට තේරුම්ගත හැකිවනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
එබැවින් දැන්වත් බොරු නොකියා රටට ඇත්ක කළා කළ යුතුව ඇති බව අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස තේරුම්ගත යුතුව ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සමුළුවට එක්වෙමිනි.
රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට මෙම විශේෂ සම්මේලනයේදී එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව සම්මත කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
“දිනන් ඔනෙනම් හෙට ඉඳන් ගෙන් ගෙට යන්න. මිනිස්සුන්ට කතා කරන්න. කැමතිනම් සිලිංඩරයත් අරගෙනම යන්න. 1946 දී පක්ෂය ඇතිකළ ඩී එස් සේනානායක මහත්මයා කිවේ  ශ්‍රී ලංකාව ආරක්ෂා කරන්න කියලා. ශ්‍රී ලාංකිකයෙක් හැටියට ශ්‍රී ලංකාව බේරගන්න මම අගමැතිකම භාරගත්තා. ජනාධිපතිකම භාරගත්තා. ඔබ අසරණ වෙලා ඉන්න මම දැක්කා. ඒ අවස්ථාවේ ඉදිරිපත් නොවුනම් ඒක මහ පාපයක්. සජබය වගේම මාළිමාව කළේත් ඒ පාපයම තමයි. යුඑන්පීකාරයෝ විදිහට  අපි මුලින්ම හිතන්නේ රට ගැන. 2020 රට ගැන කියලා අපි පැරදුනා. නමුත් මේ ප්‍රශ්නය කුමක්ද කියලා අපි දැනගෙන හිටියා. මුල්‍ය අරමුදල , ලෝක බැංකුව සමඟ කතා කළා.‍
කඩාවැටුණු රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය තිබුණා. ඒ නිසා තමයි අපි මේක භාරගත්තේ. ප්‍රේමදාස මැතිතුමාට දෝශාභියෝගක් ආව වෙලාවේ මමයි එතුමව ආරක්ෂා කළේ. එතුමා මිය ගිය අවස්ථාවේ මමයි මුලින්ම ගියේ.  දැන් සජබෙ ඉන්න අය මේවා දන්නේ නැහැ. යූඇන්පීකාරයෝ විදිහට ඔබලා ගමට ගිහින් මේ කාරණා කියන්න. රට වැටුණුවෙලාවේ බදු වැඩිකරන්න වුණා. ඔබට දුෂ්කරවුණා කියලා මම දන්නවා. ඒ අවස්ථාවේ සහයෝගය ලබාදීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. තවදුරටත් මේ බර අඩුකරන්න තිබෙනවා. ඒතැනට යන්න රුපියල ශක්තිමත් කරලා ආදායම වැඩිකරන්න තිබෙනවා. රුපියල් ට්‍රිලියන 05 ක් නැතිනම් බිලයන 5000 ක ආදායමක් අපිට ලබාගන්න තියෙනවා. අපේ ඉලක්කය ඒක ලබාගැනීමයි.
දැන් අපේ විපක්ෂය මොකක්ද කියන්නේ. ඒඅය මොකක්ද දෙන උදව්ව. එයාලගේ මැතිවරණ ප්‍රකාශයෙන් එයාලා කියන්නේ බදු අඩුකරනවා කියලා. බදු අඩු කළොත් අපේ ආදායම නවතිනවා. එහෙම උනොත් අපේ ආධාර නවතිනවා. එතකොට ආපහු 2022 යනවා. මමත් කැමති නැහැ බදු වැඩිකරන්න . රුපියල ශක්තිමක් කරලා අපි බදු වැඩිකරමු. ඒවගේම ලබන අවුරුදු දෙකේදී බදු දැල වැඩිකරලා බදු අඩු කරමු. ජනප්‍රිය තීන්දු ගන්න අපි ඔක්කොම කැමතියි. හැබැයි රෑ වැටුණු වළේ අපි දවල් වැටෙන්න ඔනෙද? ඒවගේම විපක්ෂය බොරු කියන්නේ ඇයි කියලත් මම අහන්න කැමතියි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිසි විටෙක කොන්දේසි මාරු කරන්නේ නැහැ.  ශ්‍රීසියේ ආර්ථික අර්බුදය වෙලාවෙත් මේ විදිහටම විපක්ෂය ගිවිසුම වෙනස් කරන්න හැදුවා. ඒ නිසා රට තවත් පහළට වැටුණා. ඒදේමද මෙයාල දැන් ලංකාවටත් කරන්න හදන්නේ. අපි කියන්නේ මුල්‍ය අරමුදලේ ගිවිසුම සමඟ ඉදිරියට යනවා කියලා. නමුත් සජබෙ සහ මාලිමාව කියන්නේ මොකක්ද . ගිවිසුම සංශෝධනය කරනවා කියලා. එහෙම උනොත් මුදල් නවතිනවා. සාමානයෙන් මුල්‍ය අරමුදල සමඟ සාකච්චා කරලා අලුත් ගිවිසුමකට යන්න අඩුම මාස හයක් යනවා. එතකම් අපි මොකද කරන්වේ. මේ දේවල් වලට උත්තර දෙන්න කියලා මම කියනවා. ඒවගේම මම යෝජනාවක් කරන්න කැමතියි. අපි පක්ෂ තුනම මුල්‍ය අරමුදල එක්ක එකතුවෙලා සාකච්ඡාවක් කරමු. ඔයාලා කරන්නේ මොකක්ද කියලා පැහැදිලිව කියන්න. අපි ජනතාවට ඒක පෙන්නමු. ඔබට සැලැස්මක් තිබෙනවානම් රටට කියන්න. බොරු කියලා ජනතාව රවට්ටන්න එපා. ඒ සාකච්ඡාව රටට පෙන්නුවාට පස්සේ රටේ සියලු දෙනාම ගෑස් සිලිංඩරය ලඟින් කතිරය ගහයි. එහෙම නොකර ගෑස් නැතිඋනොත් අඩන්න එපා. යැයි ජනාධිපති වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්ද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන ඇතුළු සාමාජිකයෝද මෙම අවස්ථාවට සහභාගී වුහ.
Previous articleNPP රජයක් යටතේ ටෙලිකොම් කළමනාකරණයට විදෙස් ආයෝජන කැඳවනවා – අනුර කුමාර
Next articleබදු නොගෙවන්නන්ගේ බැංකු ගිණුම් 900 ක් අත්හිටුවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here