ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වන බව එම පක්ෂයේ විධායක කමිටු සාමාජික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත පවසනවා.
ජාතික ජන බලවේග මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය අත්හරින බවට පැහැදිලිව සඳහන් කර ඇති බව ඔහු පැවසීය.
යටත් විජිත බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවෙන් නිදහස ලැබීමෙන් පසු පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත රජතුමා හෝ රැජිණ යටතට ගෙන ඒම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය බිහි කළ බව ලාල්කාන්ත පවසනවා.
තමන් පෙනී සිටිනුයේ බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ ආධිපත්‍යයෙන් නිදහස් වූ පොදු රාජ්‍ය මණ්ඩලයක් වෙනුවෙන් බවත් අනාගතයේදී ජාතික ජන බලවේගයේ රජයක් පිහිටුවීමෙන් පසු බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව යටතේ ශ්‍රී ලංකාව තවදුරටත් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු නොවනු ඇති බවටත් ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
පොදූ රාජ්‍ය මණ්ඩලය යනු බ්‍රිතාන්‍යයේ පුරෝගාමිත්වයෙන් බිහිවී ඇති සෙසු ජාත්‍යන්තර සංවිධාන වලට වඩා වෙනස් වූ සුවිශේෂ ගණයේ ජාත්‍යන්තර සමාගමයක් නැතහොත් සංවිධානයකි.
මෙම සංගමය සමන්විත වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති ඩොමීනියන් රටවලින් සහ නිදහස දිනාගත් යටත්විජිත වශයෙන් පැවති රටවලිනි.
පොදු රාජ්‍ය මණ්ඩලයට සුවිශේෂී ලක්‍ෂණ කිහිපයක් වේ.
- එම සංවිධානය සතුව ව්‍යවස්ථාවක් හෝ ප්‍රඥප්තියක් නොමැති වීම.
- එහි කිසිම සාමාජිකයෙකුට සුවිශේෂී වගකීම් හෝ යුතුකම් පවරා නොතිබීම. (එහෙත් එහි සෑම සාමාජික රටක්ම 1971 පොදු රාජ්‍ය මණ්ඩලීය මූලධර්ම ප්‍රකාශනයෙන් පිළිගත් මූලධර්ම අනුව කටයුතු කිරීමට ස්වේච්ඡාවෙන් වග බලා ගැනීම සාමාජික රටවල් විසින් අපේක්‍ෂා කෙරේ.)
- පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රාජ්‍යයන්ගේ නිදහස් බව හා බැඳීම් විරහිත බව. (මෙම සංවිධානයෙන් ඉවත්ව යාම මෙන්ම යළි සාමාජිකත්වය ලැබීමට ද එම රටවලට නිදහස ඇත.)
උදා:
1972 දී පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්ව ගිය පකිස්තානය 1989 දී යළිත් වරක් පොදු රාජ්‍ය මණ්ඩලයට සම්බන්ධ වීම.
1961 දී ඉවත්ව ගිය දකුණු අප්‍රිකාව 1994 දී යළි සාමාජිකත්වය ලැබීම. - ලෝක ජනගහනයෙන් 1/4 කටත් වඩා වැඩි ප්‍රමාණයක් පොදු රාජ්‍ය මණඩලීය රටවල් තුළ ජීවත් වන අතර මෙම ජනගහන සංයුතියේ ප්‍රකට ලක්‍ෂණයක් වන්නේ ඒවායින් බහුතරය බහුවාර්ගික,බහු ආගමික, බහු භාෂාමය, බහු සංස්කෘතික ජන සමාජයන් වීමයි.
- සමස්තයක් වශයෙන් ගත් කල පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ලෝක දේශපාලනයේ දක්නට ලැබෙන විවිධ බලවතුන් ගෙන් යුක්ත රාජ්‍යයන් ගෙන් සමන්විතය.
විවිධ අවස්ථාවන් වලදී එක්සත් ජාතින්ගේ සංවිධානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැමිණවීමට ඇමරිකානු එක්සත් ජනපදය විසින් යෝජනා ගෙන ආ විට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් බොහොමයක් එයට විරුද්ධව තම මතය ප්‍රකාශ කරනු ලැබුවේ එම රටවල් අතර අන්නෝන්‍ය අවබෝධය හේතුවෙනි.
රටක් වශයෙන් දරුණු ආර්ථික අර්බුදයකින් අනතුරුව නැවත ගොඩ එමින් පවතින අවස්ථාවක මෙවන් තීරණයක් ගතහොත් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් වලින් මෙන්ම අනෙකුත් රටවල් වලින්ද හුදෙකලා වීමකට ලක්විය හැකි බවටත් එම රටවල් අතර ඇති අවබෝධතාවන් වලට බාධා පැමිණිය හැකි බවටත් දේශපාලන විචාරකයින්ගේ අදහස වී තිබේ.