Site icon Newshub

මාලිමා රජයක් යටතේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙනවා – ලාල් කාන්ත

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වන බව එම පක්ෂයේ විධායක කමිටු සාමාජික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත පවසනවා.

ජාතික ජන බලවේග මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය අත්හරින බවට පැහැදිලිව සඳහන් කර ඇති බව ඔහු පැවසීය.

යටත් විජිත බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවෙන් නිදහස ලැබීමෙන් පසු පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත රජතුමා හෝ රැජිණ යටතට ගෙන ඒම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය බිහි කළ බව ලාල්කාන්ත පවසනවා.

තමන් පෙනී සිටිනුයේ බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ ආධිපත්‍යයෙන් නිදහස් වූ පොදු රාජ්‍ය මණ්ඩලයක් වෙනුවෙන් බවත් අනාගතයේදී ජාතික ජන බලවේගයේ රජයක් පිහිටුවීමෙන් පසු බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව යටතේ ශ්‍රී ලංකාව තවදුරටත් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු නොවනු ඇති බවටත් ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

පොදූ රාජ්‍ය මණ්ඩලය යනු බ්‍රිතාන්‍යයේ පුරෝගාමිත්වයෙන් බිහිවී ඇති සෙසු ජාත්‍යන්තර සංවිධාන වලට වඩා වෙනස් වූ සුවිශේෂ ගණයේ ජාත්‍යන්තර සමාගමයක් නැතහොත් සංවිධානයකි.

මෙම සංගමය සමන්විත වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති ඩොමීනියන් රටවලින් සහ නිදහස දිනාගත් යටත්විජිත වශයෙන් පැවති රටවලිනි.

පොදු රාජ්‍ය මණ්ඩලයට සුවිශේෂී ලක්‍ෂණ කිහිපයක් වේ.

විවිධ අවස්ථාවන් වලදී එක්සත් ජාතින්ගේ සංවිධානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැමිණවීමට ඇමරිකානු එක්සත් ජනපදය විසින් යෝජනා ගෙන ආ විට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් බොහොමයක් එයට විරුද්ධව තම මතය ප්‍රකාශ කරනු ලැබුවේ එම රටවල් අතර අන්නෝන්‍ය අවබෝධය හේතුවෙනි.

රටක් වශයෙන් දරුණු ආර්ථික අර්බුදයකින් අනතුරුව නැවත ගොඩ එමින් පවතින අවස්ථාවක මෙවන් තීරණයක් ගතහොත් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් වලින් මෙන්ම අනෙකුත් රටවල් වලින්ද හුදෙකලා වීමකට ලක්විය හැකි බවටත් එම රටවල් අතර ඇති අවබෝධතාවන් වලට බාධා පැමිණිය හැකි බවටත් දේශපාලන විචාරකයින්ගේ අදහස වී තිබේ.

Exit mobile version