Home අද රට දියුණු කරද්දී මට චන්ද්‍රිකාද මහින්දද හෝ පක්ෂ-විපක්ෂ භේදයක් නෑ – ජනපති

රට දියුණු කරද්දී මට චන්ද්‍රිකාද මහින්දද හෝ පක්ෂ-විපක්ෂ භේදයක් නෑ – ජනපති

891
0

රට දියුණු කිරීමේ කාර්යයේදී චන්ද්‍රිකා කුමාරතුංග ද මහින්ද රාජපක්ෂ ද නැති නම් වෙනත් කණ්ඩායමක් ද යනුවෙන් පක්ෂ විපක්ෂ භේදයක් නොසලකා එක් වී වැඩ කිරීමට තමන් සූදානම් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර දුම්රියපොළ ක්‍රීඩාංගණයේදී පැවති ජාතික මෙහෙවරක රෝහිත සලකුණ සැමරුම් උත්සවයට ඉකුත් 06 වැනිදා එක්වෙමිනි.

චන්ද්‍රිකා කුමාරතුංග සමඟ එක්ව දේශපාලනය කරද්දී හොඳ කියූ අය මහින්ද රාජපක්ෂ සමඟ එක්වී වැඩ කරද්දී දොස් කියන බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, වැටුණු අගාධයෙන් රට ගොඩනැඟීමට පොදුජන පෙරමුණේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම හොඳ සහායක් දුන් බව ද කීවේය.

එමෙන්ම වෙනස් වන ලෝකයේ අලුතින් සිතා බලා පැරණි දේශපාලනයේ සිර නොවී ඉදිරියට යමු යැයි පොදුජන පෙරමුණෙන් ඉල්ලා සිටින බව ද මේ උපදේශනය එක්සත් ජාතික පක්ෂයට ද ලබාදී ඇතැයි ද හෙතෙම කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අද උදේ මා හිටියේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල රැස්වීමේ. එහිදී මා දුන් උපදේශයක් පොහොට්ටුවේ රැස්වීමේදීත් කියන්නම්. ලෝකෙ වෙනස් වෙනවා. අලුතින් හිතන්න. පැරණි දේශපාලනයේ හිරවෙන්න එපා. එතැනින් අපට ඉදිරියට යන්න පුළුවන්. රෝහිතගේ සේවය විපක්ෂයේ සිට මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිටත් මා දැක තිබෙනවා. මේ සෙනඟ පැමිණ තිබෙන්නේ ඒ වෙනුවෙන්. ඔහු කිසිවිටක පළාතේ මිනිසුන් අමතක කළේ නැහැ.

රෝහිත මහතාගේ උත්සවයට යනවාදැයි මාධ්‍යයෙන් ඇසුවා. මා එහි යන බව පැවසුවා. මහින්ද රාජපක්ෂ ගැන කියන්නේ කුමක්දැයි මාධ්‍ය මගෙන් ඇහුවා. ‘මේ එයාගේ 27 වැනි අවුරුද්ද නොව රෝහිතගේ 27 වැනි අවුරුද්ද’ කියා මා කිව්වා.

මහින්ද රාජපක්ෂ එක්ක එකට වාඩි වී කරන්නේ කුමක්දැයි හැමවිටම මගෙන් අහනවා. මම ඒකට පිළිතුරක් දෙන්නම්. මහින්ද සහ මම හිටියේ දෙපැත්තේ. එකට එකතු වුණේ නෑ. හැම විටම විරුද්ධව හිටියා. ඒ තිබුණ සටන අලුතින් කියන්න අවශ්‍ය නැහැ. දැන් මම මෙතන ඉන්නේ ඇයි? චන්ද්‍රිකා මැතිනිය සමඟ ඊට වඩා සටනක් මට තිබුණා. චන්ද්‍රිකා මැතිනිය සමඟ එකට ඉන්න විට කවුරුවත් ප්‍රශ්න අසන්නේ නැහැ.

2020 මැතිවරණයෙන් පසු කොරෝනා කාලයේ මේ රටේ තත්ත්වය කතා කරන්න අපට අවස්ථාව ලැබුණා. එමෙන්ම මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා සමඟත් 2021 වසරේ නත්තල් සමයේ මා කතා කළා. ඇය මට ගෝඨාභය ජනාධිපතිට දෙන්නැයි පණිවිඩයක් ලබා දුන්නා. මා ඒක ගිහින් දුන්නා. මූල්‍ය අරමුදලට යන ලෙස මා එහිදී කිව්වා. මහින්ද ඒකට එකඟ වුණා. මට අවශ්‍ය වුණේ රට ගොඩ ගන්න. මුදල්වල වටිනාකම අඩු වෙනවාට මමත් කැමති වුණේ නැහැ. අපි කතා කරමින් සිටියා. ඒක රහසක් නොවේ. අප දේශපාලනයෙන් ඉවත්ව රට ගෙනයන්නේ කොහොමද කියා කතා වුණා. ගෝඨාභය ජනපති එදා දේශපාලන පක්ෂ නායකයන් කැඳවූ විට එහි ගියේ මමත් දෙමළ පක්ෂත් පමණයි.

එදා මැයි නව වෙනිදාට කලින් සතියේ පාර්ලිමේන්තුව තිබුණා. කොටසක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට ගියා. ගෝඨාභයගේ ආණ්ඩුව වැටුණොත් පළමුවෙන් විපක්ෂ නායකට අගමැති ධුරය භාරදිය යුතු බව ඇතැමුන් කිව්වා. ඒ ගැන මගෙනුත් විමසීම් කළා. සම්ප්‍රදාය එය බව මමත් ඔවුන්ට දැනුම් දුන්නා. නමුත් විපක්ෂ නායක ඒ වගකීම භාරගත්තේ නැහැ. ඔහුට මේ වගකීම භාරගන්න යුතුකමක් තිබුණා.

අපි ප්‍රජාතන්ත්‍රවාදය කතා කරනවා. එතුමා අයිවෝ ජෙනීන්ග්ස් කියැවිය යුතුයි නේද? අගමැති ඉවත් වීමේදී විපක්ෂ නායකට වගකීම දිය යුතු බව ඔහු පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජෙනීන්ග්ස් ලියා තිබෙන Cabinet Govt සහ Parliament පොත් හොයාගෙන කියවන්නැයි දැනුම් දෙන්නට කැමතියි.

විපක්ෂ නායක රටට යුතුකම කළේ නැහැ. මගේ මිත්‍ර අනුර හොයාගන්නත් හිටියේ නෑ. දවස් දෙකක් තිස්සේ අගමැතිකමට මිනිස්සු හෙව්වා. කොයි රටේද එහෙම දෙයක් වුණේ. අගමැති නැතුව ආණ්ඩුවක් ගෙන යන්න බෑ. ජනාධිපති වැඩ කළ යුත්තේ අගමැතිගෙන් උපදෙස් ගෙනයි. මම අගමැතිකම ඉල්ලුවේ නෑ. මට එන්න කියා සහයෝගය ඉල්ලුවා. ඒ අනුව සහයෝගය දෙන්න එකඟ වුණා. එවෙලේ සජිත් රට භාර ගත්තත් මම එයාට උදවු කරනවා. මට එය ප්‍රශ්නයක් නැහැ.

මහින්ද සහ මම දැන් දේශපාලනයේ ගොඩක් පරිච්ඡේද මේ වන විට අවසන් කර තිබෙනවා. රටක් කරදරේ වැටුණු විට ප්‍රධාන පක්ෂ ලෙස එකතු වී කටයුතු කළ යුතුයි. අපි ගහගෙන මරාගෙන තිබෙනවා. බැණගෙන තිබෙනවා. හැබැයි රටට අමාරු වූ විට එකතු වුණා.

1931 සිට ප්‍රජාතන්ත්‍රවාදය කඩා වට්ටන්නේ නැතිව, එක පක්ෂයක් පරාජයට පත් වූ විට අනෙක් පක්ෂයට සාමකාමීව බලය හුවමාරු කරගෙන ඇති දකුණු ආසියාවේ එකම රට ලංකාවයි. එසේ සාමකාමීව බලය හුවමාරු කරගෙන ඇති වෙන එක රටක් මට පෙන්වා දෙන්න.

අපේ අඩුපාඩුකම් තිබෙන බව ඇත්තයි. ලංකාවේ පමණයි එවැනි දෙයක් වෙලා තිබෙන්නේ. කොපමණ ගහ ගත්තත් අප හැන්දෑ වරුවේ හමුවෙනවා. මඟුල් ගෙවල්වලදී හමුවෙනවා.

අපේ ගෙවල් ගිනි තැබුවා. ඉන් පසුව වැඩ බලන ජනාධිපති ලෙස ඉදිරිපත් වන්නැයි ගොඩක් අය මගෙන් ඉල්ලීම් කළා. ඒ සම්බන්ධයෙන් මා සජිත්ලාගෙන් විමසීමක් කළා. සජිත් එම පාර්ලිමේන්තු ඡන්දයට ඉදිරිපත් වන බවත් අවශ්‍ය නම් අගමැති ලෙස පැමිණෙන ලෙසත් මට දැනුම් දුන්නා. මම එයාගේ අගමැති වන්නේ කොහොමද කියා මා සිතුවා. සජිත්ගේ විදිහට මට දුවන්න බෑ. ඊට වඩා මා ජනාධිපති ධුරයට පත්වන එක හොඳ බව මා සිතුවා. එම ඡන්දයට ඉදිරිපත් වන බව අනුරත් පැවසුවා.

ජී.එල්. ගෙන් ඇහුවාම කතා කරන්න සූදානම් නැති බව කිව්වා. අනතුරුව මා මහින්ද සමඟ කතා කතා කළා. අනතුරුව සහයෝගය දෙන්න පොරොන්දු වුණා. එය වැරදිද? සජබෙන් කොටසක්ද මට ඡන්දය දුන්නා. එය රහසක් නොවේ. ආණ්ඩුව ගෙනයන්න පොහොට්ටුවේ බහුතරයක් සහාය දුන්නා. මා ඒකට ස්තුතිවන්ත වෙනවා. මා මහින්ද සමඟ වාඩිවී ඉන්නේ ඒකයි.

මට දොස් කියන්නේ ඕකට. ශක්‍ර දෙවියන් පාර්ලිමේන්තුවේ හිටියා නම් මම ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් අහනවා. නමුත් ශක්‍ර දේවේන්ද්‍රයා පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. හිටියේ මහින්ද රාජපක්ෂයි, සජිත් ප්‍රේමදාසයි, අනුර දිසානායකයි. ගජේන්ද්‍ර කුමාර් සහාය දුන්නා නම් ඒකත් අරගෙන යනවා. මොකද ආර්ථිකය හදන්න පුළුවන් බව මම දැනගෙන හිටියා. අප දැන් ආර්ථිකය හදා තිබෙනවා.

ඩොලර් බිලියන අටක් ඉතිරි කරගෙන තිබෙනවා. දැන් අප ඉදිරියට යා යුතුයි.

පොහොට්ටුවේ සහාය එපා කිව්වා නම් අද වෙන්නේ කුමක්ද? තෙල් නෙමෙයි පොල්තෙල්වත් නැති වෙනවා. එහෙනම් ඩොලරය හාරසිය පනහට යනවා. කාගෙන් හරි උදවු අරගෙන වැඩේ කළ යුතුයි. මේ පාට පක්ෂ භේද බලන්න අවස්ථාව නොවේ.

දැන් එතැන් සිට ඉදිරියට යා යුතුව තිබෙනවා. මං මේ ඇමැතිවරු තේරුවේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තෝරපු අය හිටියේ. නමුත් පොහොට්ටුවේ මිනිස්සු වැඩේ භාරගෙන දිව්වා. මං හිතුවාට වඩා ඔවුන් එය ඉදිරියට ගෙන ගියා. පොහොට්ටුවේ කැබිනට් මණ්ඩලයේ සහාය නැතිව මට එය තනිව කරන්න බෑ.

මෙතන වාඩිවෙලා ඉන්නේ මොකද කියා මගෙන් අහනවා. මා පොහොට්ටුවට බැඳෙන්නේ නැහැ. මේ පක්ෂ දැන් අලුතෙන් හදාගෙන යා යුතුයි. 2021,2022,2023 කාල පරිච්ඡේදයේ පක්ෂ ක්‍රමවේදය කැඩුණා. කැබිනට් මණ්ඩලයේ පොහොට්ටුවේ සහයෝගය නැතිව මට මේක තනිවම කරන්න බැහැ. එමෙන්ම ඕනෑ අවස්ථාවක එකට වැඩ කළ යුතුයි. අනෙක් වෙලාවට වෙන් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අප රට පාවලා දුන්නා වෙනවා. මම පොහොට්ටුවට බැඳෙන්නෙ නෑ වගේම පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්නෙත් නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම පොහොට්ටුවේ රැස්වීමටත් එකම දවසේ යන්නට මට හැකි වී තිබෙනවා. ඊයේ රෑ මම හිටියේ සජබෙ අය එක්ක. මට ඕන්නම් ඒ අය ගිය රැස්වීමටත් යන්න තිබුණා. මං පන්නන්නට කවුරුවත් එහි නැහැ.

අප මේ සමයේ එකට වැඩ කරමු. විශාල අභියෝගයක් අප හමුවේ තිබෙනවා. ඒ අභියෝගය අවසානයේ ජයගත යුත්තේ අප නොවේ. මේ තරුණ පරපුරයි. අප තරුණයන්ට අනාගතයක් දිය යුතුයි. ඊට කැපවී අප දේශපාලනය කළ යුතුයි. ඉතිං රෝහිත ඔබට ස්තුති කරනවා යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Previous articleසංචාරක ක්ෂේත්‍රයේ ඉහළ වර්ධනයක් – වසරේ පළමු භාගයේ ඩොලර් බිලියන 1.5 ක ඉපැයීමක්
Next articleජනපතිගේ ධුර කාලය වසර 5ක් බව පැහැදිලියි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here