Home අද බිත්තර නිෂ්පාදකයෝ මාෆියාවක් ගෙන යනවා

බිත්තර නිෂ්පාදකයෝ මාෆියාවක් ගෙන යනවා

778
0

බිත්තර නිෂ්පාදකයෝ මාෆියාවක් ගෙන යනවා

 – සමස්ත ලංකා බිත්තර වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් සුභාෂ් බුද්ධික වීරසේන

 

බිත්තර මිල ඉහළ යෑම නිසා පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත් වූ අතර රුපියල් විස්සේ සීමාව තුළ වසර ගණනක් රැඳී තිබූ බිත්තර මිල අද වන විට රුපියල් හැටපහ ද ඉක්මවා ගොස් ඇත. මේ තත්ත්වය තුළ රජය බිත්තර ආනයනය කිරීමට තීරණයක් ගත් අතර මේ තීන්දුවට පක්ෂව සහ විපක්ෂව අදහස් පළ වෙමින් තිබේ. මේ ගැටලුව පිළිබඳව සමස්ත සමස්ත ලංකා බිත්තර වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් සුභාෂ් බුද්ධික වීරසේන සමඟ කළ සංවාදයකි මේ.

බිත්තර විදේශයන්ගෙන් ආනයනයට රජය ගත් තීරණය පිළිබඳ බිත්තර වෙළෙඳ ව්‍යාපාරිකයන් විදිහට ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

බිත්තර කර්මාන්තයක් විදිහට ලොකු අර්බුදයකට වැටිල තියෙන්නේ වසර ගණනාවක සිටයි. මුලින්ම මේ කර්මාන්තයට පහර වැදුණේ සහරාන් බෝම්බ ගහපු දෙදහස් දහනවය අවුරුද්දෙදි. එදා බිත්තර කර්මාන්තයට හොඳ ඉල්ලුමක් වගේම හොඳ වෙළෙඳ පොළක්ද තිබුණා. ඉන්පසු කොවිඩ් වසංගත තත්ත්වය නිසා රට වසා දැම්ම නිසා සෙසු කර්මාන්තවලටත් වඩා බිත්තර කර්මාන්තයට ලොකු පහරක් වැදුණා. කොවිඩ් වසංගතය පහ වීමත් සමඟ රටේ ආර්ථික අර්බුදයක් වගේම දේශපාලන අර්බුදයක් මතු වුණා. ප්‍රවාහනය ඇතුළු සියලු අංශ කඩාගෙන වැටුණා. මේ මොන දෙයක් වුණත් කිකිළියන් බිත්තර දමන එක නවත්වන්නේ නැහැ. මේ නිසා අවසානයේදී වුණේ බිත්තර කර්මාන්තය අර්බුදයට ලක්වීමයි. එතැනින් තමයි බිත්තර මිල ප්‍රශ්නය රටම කතා කරන අර්බුදයක් බවට පත් වුණේ. බිත්තර මිල වැඩි වීම බිත්තර හිඟය ඇතුළු හැම දේකම ආරම්භය මේ කරුණුවලින් තමයි පටන් ගත්තේ. ගෑස් හිඟය නිසා කුකුළු ගොවිපොළවල තත්ත්වය තව දුරටත් අවුල් සහගත වුණා. අවුරුදු ගණනක් විධිමත් වෙළෙඳ ව්‍යාපාරයක් විදිහට කරගෙන ආපු බිත්තර වෙළෙඳ ව්‍යාපාරය අද තත්ත්වයට පත් වුණේ මේ විදිහටයි.

බිත්තර කර්මාන්තයේ මිල තීරණය කිරීමේ අයිතිය කාටද පැවරී තිබෙන්නේ?

බිත්තර මිල තීරණය කළේ එදා සිටම බිත්තර වෙළෙඳ ව්‍යාපාරික සංගමය විසිනුයි. එහෙත් පසුව ඇති කරගත් බිත්තර ගොවීන් පිරිසකගේ සංගමයක් බිත්තර මිල තීරණය කිරීමේ අයිතිය තමන් වෙත පවරා ගත්තා. 2015 පසුවයි මේ තත්ත්වය ඇති වුණේ.

සහල් මාෆියාව වැනි සංවිධානාත්මක මාෆියාවක් විදිහට බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය කටයුතු කරන බවටද ඔබ චෝදනා කරන්නේ?

චෝදනා කරන්න දෙයක් නැහැ. සිහි බුද්ධියෙන් කල්පනා කරන ඕනෑම කෙනෙකුට ඒක තේරෙනවා. එදා වයඹ පළාත සහ ගම්පහ වගේ දිස්ත්‍රික්කවල කුඩා කුකුළු ගොවිපොළවල් රැසක් තිබුණා. ඒත් බිත්තර නිෂ්පාදකයන් කියා ගත් පිරිස නිසා අද ඒ වගේ පොඩි පොඩි කුකුළු ගොවිපොළවල් වැසී ගිහින්. අද වන විට බිත්තර කර්මාන්තයේ සියයට අනූපහක අයිතිය බිත්තර නිෂ්පාදකයන් හත් අට දෙනකු අතට පත්වෙලා.

අද වන විට කුඩා ගොවිපොළ හිමියන් කර්මාන්තයෙන් එළියට විසිවෙලා ඉවරයි. අද බිත්තර මිල තීරණය කිරීමේ තනි අයිතිය හතරපස් දෙනකු වෙත පැවරීම තුළ තමයි මේ වාතාවරණය ඇති වෙලා තිබෙන්නේ.

ආනයනය කරනු ලබන බිත්තර මඟින් බිත්තර මිල ඉහළ යෑමේ ප්‍රශ්නය පාලනය කිරීමට හැකියාව ලැබෙයි කියා ඔබ විශ්වාස කරනවාද?

ආනයනය කරනු ලබන්නේ ශීතාගාරවල තැන්පත් කර තැබිය යුතු ශීතාගාරයෙන් එළියට ගත් පසු පැය හැත්තෑදෙකෙන් ප්‍රයෝජනයට ගත යුතු බිත්තර. මේ බිත්තර ඒ තත්ත්වය තුළ සාමාන්‍ය වෙළෙඳ පොළ තුළ අලෙවි කරන්න බැහැ. ඒත් ඉහළ ගිය බිත්තර මිල පාලනය කිරීමට මෙමඟින් හැකියාව ලැබෙනවා. රෝහල්, හමුදා කඳවුරු, රසකැවිලි නිෂ්පාදනය වැනි දේ සඳහා යොදා ගන්න පුළුවන්. එහෙම කළොත් සාමාන්‍ය දේශීය බිත්තර දේශීය වෙළෙඳ පොළ තුළ අලෙවි කිරීමට හැකියාව ලැබෙනවා. මෙය අද ඇතිව තිබෙන බිත්තර ප්‍රශ්නයට හොඳ විසඳුමක්. කොහොමත් සාමාන්‍ය දේශීය බිත්තරයකට වඩා මේ බිත්තරය කුඩයි ඒ නිසා මේ බිත්තරය, බිත්තර රොටියට, බිත්තර ආප්පයට ගැළපෙයිද කියල හිතන්න අමාරුයි. ඒත් බිත්තර නිෂ්පාදනය අඩු වීම සහ ඉල්ලුම වැඩි වීම නිසා බිත්තර මිල යළිත් සාමාන්‍ය ප්‍රමාණයකට ගෙනෙන්න බිත්තර පිට රටින් ගෙන්වීම හොඳයි.

ඒත් දේශීය බිත්තර නිෂ්පාදකයන් බිත්තර ආනයනයට සම්පූර්ණයෙන් විරුද්ධයි?

බිත්තර කර්මාන්තය කඩා දමපු අය, බිත්තර ආනයනය කිරීමෙන් කර්මාන්තය කඩා වැටෙනවා කියන අදහස පතුරුවනවා. ඒ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ පාරිභෝගිකයා තමන්ගේ ග්‍රහණයේ තියාගෙන බිත්තර නිෂ්පාදන කර්මාන්තය වාසිදායක බිස්නස් එකක් බවට පත් කර ගන්නයි.

බිත්තර ආනයනයේදී පක්ෂීන් ආශ්‍රිතව බෝ වන රෝග රටට ඇතුළු විය හැකි බවට පශු සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. ඒ ගැන ඔබේ මතය පැහැදිලි කළ හැකිද?

ඒ තර්කය අපිට සියයට සියයක් නිවැරැදියි කියලා සඳහන් කරන්න බැහැ. බිත්තර ආනයනය මෙතෙක් සිදු නොකළත් මේ වන විට වෙනත් මස් වර්ග වගේම බිත්තර වර්ගත් මෙරටට ආනයනය කරනවා. ඒ අනුව වෙනත් සත්ත්ව නිෂ්පාදනවලින් බෝ නොවන රෝග බිත්තරවලින් පමණක් බෝ වන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්.

බිත්තර ආනයනයට විරුද්ධ කණ්ඩායම් විවිධ උපක්‍රම යොදා බිත්තර ආනයනය නවතා දමන්න මෙහෙම තර්ක ගොඩ නඟනවා.

Previous articleලංකාවේ තැඹිලි වගේ අති විශිෂ්ටය පානයක් මම ලෝකයේ දැකලා නැහැ – ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තනාපති  
Next articleරටම උණුුසුම් කරමින් සියලු ජාතීන් වෙනුවෙන් රජය කරන්න හදන දේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here