Home අද අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න – ජනපති

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න – ජනපති

1668
0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එසේම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නායයෑම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, සහන සේවා කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද දැනුම්දී තිබේ.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලු ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, අදාළ පළාත්වල රාජ්‍ය නිලධාරින් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේ දී ජනතාවට එම සහන ලබාගත හැකි බවත් පැවසීය. එතෙක් පරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50ක් වෙන් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ සහන නිසි පරිදි ජනතාව අතට පත් කිරීමට මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන ලෙසද රාජ්‍ය නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම්දී ඇත.

පසුගිය දින කිහිපය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ඇතිවූ ගංවතුර සහ නායයම් නිසා පවුල් 6,018ක පුද්ගලයන් 24,492ක් විපතට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

සහන මධ්‍යස්ථාන 23ක, පවුල් 584ක පුද්ගලයන් 2,200ක් මේ වන විට ආරක්ෂිතව රඳවාගෙන තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය හරහා ආපදාවට පත් සියලු දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මේ වනවිට සහන සේවා කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ඇමතුම් මැදිරිය සහ 0112 136 136, 0112 136 222, 0112 670 002 දුරකථන අංක ඇමතීමෙන් දැනුම් දිය හැකිය.

Previous articleඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙ‍ෙළඳ ප්‍රදර්ශනය 2024 සඳහා Aviyana හෝටලය ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයයි
Next articleවිදේශ ශ‍්‍රමිකයන් සැප්තැම්බරයේදී ලංකාවට එවපු ඩොලර් ගණන අඩුවෙලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here