Home අද බුද්ධිමත්ව සිතා ඡන්දය ප්‍රකාශ කරන්න – CBK ගෙන් පුරවැසියන්ට ඉල්ලීමක්

බුද්ධිමත්ව සිතා ඡන්දය ප්‍රකාශ කරන්න – CBK ගෙන් පුරවැසියන්ට ඉල්ලීමක්

1137
0

මෙවර ජනාධිපතිවරණයේදි කිසිදු අපේක්ෂකයෙකුට තමාගේ සහය හිමිනොවන බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. තමා විසින් එලැඹෙන ජනාධිපතිවරණයේ දී විවිධ වූ අපේක්ෂකයින් හට සහය පළ කරන බවට බොහෝ මාධ්‍ය විසින් වාර්තා පළ කර ඇති බව අවධානය යොමුව ඇති බවත් ඇතැම් අපේක්ෂයෝ විවිධ ප්‍රකාශ පළකර ඇති බවටත් වාර්තාවීමත් සමඟ මෙම නිවේදනය නිකුත් කිරීමට කටයුතු කළ බවද ඇය නිවේදනයේ සඳහන් කර තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිකුත් කළ නිවේදනය මෙසේය,

මා විසින් එලැඹෙන ජනාධිපතිවරණයේ දී විවිධ වූ අපේක්ෂකයින් හට සහය පළ කරන බවට බොහෝ මාධ්‍ය විසින් වාර්තා පළ කර ඇති බව මගේ අවධානයට ලක්වී ඇත.

බොහෝ ජනාධිපති අපේක්ෂකයින් විසින් මගේ සහයෝගය ඉල්ලා සිටියද, මා මෙම අවස්ථාවේ දී මධ්‍යස්ථව සිටීමට තීරණය කර ඇති බව අදාළ සියලු පාර්ශවයන් වෙත දැනුම් දීමට කැමැත්තෙමි. ඇතැම් වාර්තාවල පළවන ආකාරයට 2024 ජනාධිපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට මගේ සෘජු හෝ අනියම් සහයෝගය ලබා දීමට මම කටයුතු කර නොමැති අතර, ඉදිරියේ දී හෝ එසේ කිරීමට මා තුළ බලාපොරොත්තුවක් නොමැති බව මම ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

මින් පෙර, අප දේශයේ අනාගතය අද වැනි අවිනිශ්චිතභාවයකට සහ අභියෝගාත්මක ඉරණමකට මුහුණ පා නොමැත. සියළුම ඡන්දදායකයින් තම ඡන්දය ප්‍රකාශ කිරීමේදී බැරෑරුම් ලෙස මෙම තත්ත්වය කල්පනා කළ යුතුව ඇත. පුද්ගලයා දෙස නොව, එක් එක් අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති, එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් සතු වැඩපිළිවෙල හා ක්‍රියාපටිපාටින් මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීම භාරව සිටින පුද්ගලයින්ද පිළිබඳවද මෙහිදී මැනවින් අවධානයට ලක්‌කළ යුතු යැයි මම යෝජනා කරමි.

යහපාලනය, පොරොන්දු වූ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය දූෂණය පිටුදැකීම පිළිබඳ සහතිකයක් ජනාධිපති අපේක්ෂකයන් වෙතින් ඉල්ලා සිටීමට ඡන්දදායකයින් වන අපට අහිමි කළ නොහැකි අයිතියක් ඇත. මෙයින් අදහස් කරන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ඇතුළු රජයේ සියලුම ඉහළ තනතුරු සඳහා අවංකභාවයෙන් හෙබි කුසලතා සහ සුදුසුකම් පරිපුර්ණ පුද්ගලයින් පත් කිරීමේ සහ යහපාලනය සහතික කිරීම සඳහා අපගේ දේශයෙන් දුෂණය නැමැති ශාපය අතුගා දැමිය හැකි ආකාරයේ නීති, ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයයි.

මෙහිදී, ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ තුළ අවංකභාවය සහ වගවීම ඉල්ලා අදින් වසර දෙක හමාරකට පෙර, 2022 දී ඇරඹි දැවැන්ත ජනතා ව්‍යාපාරය විසින් රැඩිකල් වෙනසක් උදෙසා ඉස්මතු කළ ඉල්ලීම අප විසින් අමතක නොකළයුත්තේය. යම් රජයක් පිහිටුවීම සඳහා පුරවැසියන් වසර පහකට වරක් ඡන්දය භාවිත කරන නමුත් ඊළඟ වසර පහ තුළ රජය කළමනාකරණය කරන ආකාරය පිළිබඳ කිසිදු සබඳතාවයක් හෝ සහභාගීත්වයක් නොමැති වත්මන් ක්‍රමය හරහා මෙම අරමුණ ළඟා කරගත නොහැකි බව මම විශ්වාස කරමි.

ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ පුරවැසි සහභාගීත්වය ඇතුළත් රාජ්‍ය ව්‍යුහයකට – තීරණ ගැනීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී-  ඒ තුළ සිදුවන වැරදි ක්‍රියාවන් අවම කර ගත හැකි අතර ක්‍රම වෙනසක් පිළිබඳ අපගේ සිහිනය ඒ තුළින් බොහෝදුරට සාක්ෂාත් කරගත හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මහජන සභාවක් ඇති කළ යුතු බවට මා විසින් යෝජනා කරන්නේ එබැවිනි. මෙම සභාව ආණ්ඩුව සමඟ සමාන්තරව ක්‍රියාකරන අතර, යෝජිත රාජ්‍ය ප්‍රතිපත්තින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සහ අමාත්‍ය මණ්ඩලය වෙත එකී ප්‍රතිපත්ති පිළිබඳව උපදේශනය, අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමටත් හැකිවන අයුරින් ස්ථාපිත කළ යුතුය. මෙම රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කර පාර්ලිමේන්තුවට මෙන්ම දිස්ත්‍රික් මහජන කමිටු වෙත වාර්තා කිරීමේ ප්‍රතිනිරීක්ෂණ බලයක් මෙම සභාවට ඇත.

සිවිල් සමාජීය සංවිධාන, වෘත්තීයවේදින්ගේ සංවිධාන, වෘත්තීය සංගම්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සංවිධාන,  විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ ගුරුවරුන්ව, ගොවි සංවිධාන, විශ්‍රාමික රාජ්‍ය සේවකයන්, කලාකරුවන්ගේ සංගම් සහ රාජ්‍ය නොවන සංවිධාන වැනි සිවිල් සමාජයේ නායකයන්ගගේ නියෝජනයෙන් මහජන සභාව සමන්විත වේ. මෙහි මුළු සාමාජිකත්වයෙන් 40% තරුණයන් වන අතර 40% කාන්තාවන් වනු ඇත. මේ ක්‍රමවේදය තුළින් මහජනතාවගේ නියෝජිතයන් හරහා ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ වඩාත් පුළුල් සහ සෘජු සහභාගීත්වයක් මහජනතාව වෙත ලැබෙනු ඇත.මෙය ශ්‍රී ලංකාවේ මහජන සහභාගීත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇති සුවිශේෂී පාලන ක්‍රමයක් වනු ඇත.

මෙම අසීරු අවස්ථාවේ අප දේශයේ අනාගතය රැඳී ඇත්තේ ඔබ මතය. ඉහත ඉදිරිපත් කර ඇති යෝජනාව කෙරෙහි බැරෑරුම් ලෙස මෙනෙහි කරන ලෙසත්, අඳුරු අනාගතයක එළිපැත්තේ ඇති අප ජාතිය නැවත වරක් ප්‍රබුද්ධ හා ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස නැඟී සිටීමටත් ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන ලෙස මගේ සහෝදර පුරවැසි ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපති

 

 

Previous articleලෝකයේ හොඳම නැගීඑන මුදල් ඒකකය  බවට ශ්‍රී ලංකා රුපියල පත්වේ
Next articleජනපති රනිල්ට සහය පළ කරමින්   නව සන්ධානයක් අද ඇරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here