සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ නැමැත්තා පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
එමෙන්ම ලබන 11 වනදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ නිලවරණයේ දී ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් ද අභියාචනාධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර, බස්නායක නිලමේවරුන්ගේ සංසඳයේ සභාපති හේමන්ත බණ්ඩාර හේරත් සහ ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර යන අය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කර තිබේ.
සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස මීට පෙර ස්වාධීන අයෙකු තෝරා පත්කර ගැනීමට එකඟතාව ඇතිකරගෙන තිබූ නමුත් වත්මන් ආණ්ඩුව දේශපාලන හිතවත්කම පදනම් කරගෙන සිදුකළ පත්වීම සම්බන්ධව එම ප්‍රදේශයේ ජනතාව බරපතළ විරෝධයක් දක්වා තිබිණ. ඒ හේතුවෙන් සමන් දේවාලයේ නිල වතාවත් පවා සිදුකිරීමට නොහැකි වූ බවටද මාධ්‍ය වාර්තා පළවිය.