වී අලෙවි මණ්ඩලය සඳහා ද ගොවීන් යම් වී ප්‍රමාණයක් අලෙවි කළ යුතු බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
ආණ්ඩුව විසින් ගොවීන්ට පොහොර සහනාධාරය දෙනවා නම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නොමිලේ ජලය ලබා දෙනවා නම් වී ඇටයක්වත් වී අලෙවි මණ්ඩලය වෙත ලබා නොදෙන බව ගොවීන්ට ප්‍රකාශ කළ නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ලාල් කාන්ත අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
ගොවීන්ට සහන මිලට පොහොර ලබා දෙන්නේ සහ ජලය ලබා දෙන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් නොවන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
කෙසේ වුවත් ගොවීන් පවසන්නේ තමන්ට සාධාරණ මිලක් වී සඳහා නියම කරන ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය පක්ෂය විපක්ෂයේ සිටින විට දැරූ ස්ථාවරය ද එය වුවත් ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුව ඒ ස්ථාවරය වෙනස් වූයේ කෙසේද යන්න ගැටළුවක් බවද ගොවීන් පවසයි.
මේ වන විටත් රුපියල් කෝටි 500ක් වී මිලදී ගැනීමට වෙන් කළ බවට රජය පැවසූවත් වී කිලෝවක් සඳහා දෙන මිල කොපමණද යන්න සඳහන් කර නොමැති බවද ගොවීන් පෙන්වා දෙයි.
මේ අතර ගොවි සංගම් නියෝජිතයන් පවසන්නේ රුපියල් බිලියන 5ක් වියදම් කර රජය මිලදී ගැනීමට අපේක්ෂා කරන වී ප්‍රමාණය කොහෙත්ම වෙළෙඳ පොළ සහල් මිල පාලනයට සහාය වෙතැයි අපේක්ෂා කළ නොහැකි බවයි. තම නොහැකියාව පිළිගැනීම වෙනුවට මාලිමාව ආණ්ඩුව ගොවියාට අපහාස කරමින් සිටීම ඛේදනීය ඉරණමක් බවද ඔවුන් පවසයි.