ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර නිදහස් කළ යුතු යැයි උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ආණ්ඩුවට බලකර සිටියි.
යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් උතුර, නැඟෙනහිර පළාත් දෙක ම ආවරණය වන පරිදි මහජන පෙත්සමක් අත්සන් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙන බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ දෙමළ ජාතික පක්ෂයේ ලේකම් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි කේ. සිවාජිලිංගම් පැවසුවේ, එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර දෙමළ දේශපාලන සිරකරුවන් වත්මන් ආණ්ඩුව විසින් නිදහස් කළ යුතු බවයි.
එසේ නිදහස් නොකළහොත් උතුර, නැඟෙනහිර පළාත් ආවරණය කරමින් අඛණ්ඩ හර්තාලයක් ක්‍රියාත්මක කරන බවද කේ. සිවාජිලිංගම් පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්වා දකුණේ නායකයෝ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බව විටින් විට පවසමින් තම ජනතාව රැවටූ බවත්, පසුගිය ජනාධිපතිවරණවලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දෙමළ ජනතාව සහයෝගය ලබා දුන්නත් ඔහුද ඒ වෙනුවෙන් මෙතක් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඔහු චෝදනා කර සිටී.
ආයුධ සන්නද්ධ අරගලයක් කළ ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවකරුවන්ට පවා ඉතිහාසයේ එක් පොදු සමාවක් හිමිවූ බව වත්මන් ආණ්ඩුවට මතක් කිරීමට කැමැති බවද සිවාජිලිංගම් වැඩිදුරටත් පෙන්වා දෙයි.