ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති කිහිපයක් සඳහා නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් 2023 වසරේ දී පමණක් එම ආයතන දෙකට රුපියල් කෝටි හතකට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන ලේකම් කාර්යාලය සිදුකළ විගණනයකදී අනාවරණය වී තිබේ.
ලංගම බස් රථ වලින් රටපුරා නොමිලේ ගමන් කළ හැකිවන පරිදි විවෘත නිදහස් ගමන් බලපත්‍ර 138, ආයතන සංග්‍රහයට පටහැනි අයුරින් වෘත්තීය සමිති 08ක් සඳහා 2023 වසරේදී පමණක් නිකුත් කර ඇති බව විගණනයේදි හෙළිව තිබේ.
එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේද වෘත්තිය සමීති සඳහා නිදහස් ගමන් අවසර පත්‍ර 22 නිකුත් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දෙකහමාරකට (2.5) අධික පාඩුවක් සිදුව තිබේ.
ආයතන සංග්‍රහයට අනුව රජයේ පිළිගත් එක් වෘත්තිය සමිති සම්මේලනයක් වෙනුවෙන් නිලධාරීන් දෙදෙනකු පූර්ණ කාලීනව සම්මේලනයේ කටයුතු සඳහා නිදහස් කළ හැකි බව වාර්තාවෙන් පෙන්වා දෙයි. එසේ මුදා හරිනු ලබන නිලධාරියකුට දිවයිනේ ඕනෑම ස්ථානයකට ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර සහ මධ්‍යම ගමනාගමන මණ්ඩලයෙන් නිදහස් ප්‍රවේශපත්‍ර ලත්‍ර ලබාදිය බවද පෙන්වා දෙයි.
කෙසේ නමුත් ලංගම ට රුපියල් 43,046,993 ක මුදලක් ද, ල.දු.දේ ට රුපියල් 25,294,500 ක මුදලක් ද පාඩුවී ඇති අතර මේ අයුරින් ආයතන සංග්‍ර්‍රහයට පටහැනි ලෙස නිකුත් කර තිබෙන අවසරපත් නැවත ලබා ගැනීම හෝ පාඩුව අයකරගත යුතු බවද විගණකාධිපතිවරයා වැඩිදුරටත් එම වාර්තාවේ සඳහන් කර ඇත.