Home අද ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරී සාමාජිකයෙකුවීමට තවමත් හැකියාවක් නෑ – හර්ෂ

ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරී සාමාජිකයෙකුවීමට තවමත් හැකියාවක් නෑ – හර්ෂ

81
0

ණය පැහැර හරින්නන්ගේ වර්ගීකරණයෙන් ශ්‍රී ලංකාව ඉවතට ගියත් නැවත ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරී සාමාජිකයෙකුවීමට තවමත් හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඒ සඳහා එකඟවී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වාගෙන යෑමත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම BBB දක්වා ඉහළ යෑම අත්‍යවශ්‍ය බවද මන්ත්‍රීවරයා පවසයි .

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමිනි .


ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම මේ වන විට CCC + දක්වා ඉහළ නංවා ඇති අතර MOODY’S ආයතනය ද මෙරට දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගතකිරීම් ” Ca සිට Caa 1 දක්වා ඉහළ නංවා තිබේ.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මෙසේද සඳහන් කළේය .

“ෆිච්, මූඩීස් ශ්‍රේණිගත කිරීම යම් ඉහළ දැමීමකට ලක්වෙලා තියෙනවා. ඇත්තටම ඒක සතුටුදායක ආරංචියක් මුළු රටටම.”

“ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ණය ගන්න පුළුවන් ශ්‍රේණිගත කිරීමකට තවම අපි ඇවිත් නැහැ. ඒකට BBB වගේ තැනකට එන්න වෙනවා. එතනට එන්න ආර්ථිකය තවත් ශක්තිමත් විය යුතුයි.”

“මේ ලැබිලා තියෙන්නේ ගිය ආණ්ඩුවෙන් කරපු සහ පාර්ලිමේන්තුවෙන් සම්මත වුණු අණ පනත් හරහා… රටේ වැටිලා තිබුණු ආර්ථිකය යම් ස්ථාවර භාවයකට ගේන්න දරපු උත්සාහයේ ප්‍රතිඵලයක්.”

“එහෙම නැතුව අලුතෙන් කරපු දෙයක් සම්බන්ධයෙන් නෙමෙයි. මූලිකවම මෙතන තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ජනාධිපතිවරණයට දින 2කට කලින් වෙච්ච එකඟතාවය ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් නොකර ඒ ආකාරයෙන්ම ඉදිරියට අරගෙන යෑම හරහා තමයි මේ ණය ශ්‍රේණිගත කිරීම ලැබිලා තියෙන්නේ.”

“මාලිමාවේ අය ඡන්දෙට කලින් කිව්වා…ණය තිරසර කිරීමේ විශ්ලේෂණය (DSA) වෙනස් කරන්න පුළුවන් කියලා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබ්බා.”

“නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාව ආවා. නමුත් මාලිමාවේ විකල්ප DSA එකක් පාවිච්චි කළේ නැහැ. මම කියන්නේ නැහැ ඒ පොරොන්දුව මත හිඳිමින් මේක වෙනස් කළ යුතුයි කියලා. මොකද එහෙම කළොත් තව අවුරුද්දක් දෙකක් අපිට අපේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළට ගන්න බැරි වෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒක දැනගෙනම ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම.”

“හැබැයි කරගෙන ගිය වැඩේ ඒ විදියටම ඉදිරියට අරගෙන යෑම නිසා රටට සෙතක් සැලසෙනවා.”

“කාලෙකට පස්සේ 3 වෙනි කාර්තුව 5.5කින් වර්ධනය වුණා. ඊළඟට කුමක් සිද්ධ වෙනවා ද ?. ඒ සඳහා ගතයුතු පියවර මොනවා ද ?. කියන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න වෙනවා.”

“ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනත් කියලා තියෙන්නේ ඉදිරියේදී බලාපොරොත්තු වෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ විදියටම ඉදිරියට ගියොත් ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට යන්න හැකියාවක් තියෙනවා කියලා.”

“2027 වෙනකොට IMF එකඟතාවය අනුව නැවතත් අපිට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ඩොලර් ණය ලබාගන්න සිද්ධ වෙනවා.”

“රටක් එහෙම බංකොලොත් වෙන්නේ නැහැ. ආණ්ඩුවට ණය ගෙවීමේ හැකියාව නැති වෙන එක තමයි වෙන්නේ. නමුත් 2022 අපිට වුණේ අපි කිව්වා අපිට පිටරටවලින් ගත්තු ණය ගෙවන්න හැකියාවක් නැහැ කියලා. ඒකෙන් ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමට ලංකාව පත් වුණා.”

“ඒකෙන් වසර දෙකහමාරකට පස්සේ ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ලංකාව ඉවතට ගත්තා. නමුත් නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්න හැකියාවක් නැහැ. ඒකට තව අවුරුදු 2ක් වත් යයි… එකඟ වූ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට අරගෙන ගියොත් සහ අපේ ණය ශ්‍රේණිගත කිරීම BBB දක්වා ඉහළ ගියොත් එවිට අපිට පුළුවන් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට එකතු වෙන්න. දැනට ස්වෛරී බැඳුම්කරයක් නිකුත් කරන්න පුළුවන් කියන තැන අපි තවම නැහැ.”

Previous articleපළාත් පාලන මැතිවරණය සඳහා අලුතෙන් නාමයෝජනා !
Next articleසෙනේෂ් රූපවාහිනියෙන් එළියට !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here