Home අද කැස්බෑවේ හරි වැඩේ : නගරසභා සේවිකාවක් මාලිමා ලැයිස්තුවේ : නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ !

කැස්බෑවේ හරි වැඩේ : නගරසභා සේවිකාවක් මාලිමා ලැයිස්තුවේ : නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ !

937
0

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේගය පක්ෂයෙන් කැස්බෑව නගර සභාවට ඉදිරිපත් කර තිබෙන නාමයෝජනා පත්‍රයට ඇතුළත්ව සිටින අපේක්ෂිකාවගේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සමගි ජනබලවේගය පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කොට තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ලබන 28 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා පවසා සිටියේ ජාතික ජන බලවේගය පක්ෂය විසින් කැස්බෑව නගර සභාවට භාර දී තිබෙන නාමයෝජනා පත්‍රයට ඇතුළත් කොට තිබෙන කාන්තා අපේක්ෂිකාවක වන එස්. කේ. එල්. විනීකා ද අල්විස් නමැත්තිය එම නගර සභාවේ සේවය කරන අයකු බවත් ඇය නාමයෝජනා පත්‍ර භාරදෙන විටත් එහි සේවයෙන් ඉවත්වීමේ ලිපිය භාරදී නොතිබීම පළාත් පාලන පනතේ විධි විධානයන්ට පටහැනි ක්‍රියාවක් බවයි.

එබැවින් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තරග කිරීමට හා තේරීපත්වීමට නුසුදුසු තැනැත්තියක වන්නේ යැයි එහිදී විනිසුරු මඩුල්ලට පෙන්වා දුන් නීතීඥවරයා, ඒ සම්බන්ධයෙන් පෙත්සම්කරු විරෝධතාවක් ඉදිරිපත් කළත් තේරීම් භාර නිලධාරියා විසින් නිසි තීරණයක් නොදුන් බව ද පෙන්වා දුන්නේය.

එබැවින් එම අපේක්ෂිකාව මැතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුසු අයකු බවට නිගමනය කොට ඇයගේ නාමයෝජනාව බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට ද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

නීතීඥවරයා සිදුකළ කරුණු දැක්වීම සලකා බැලූ එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන හා සම්පත් බී. අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ නියෝගය නිකුත් කළේය.

Previous articleටාටා සමාගම Jaguar, Land Rover ඇමෙරිකාවට අපනයනය නවතයි
Next articleකොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය විනාඩි 30 ක් අත්හිටුවයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here