ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට 44% ක තීරු බදු පැනවීම සහ රටක් වශයෙන් ඊට මුහුණ දීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපතිවරුන් හතර දෙනකුගේ හමුවක් හෙට (07) කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන,
සහ රනිල් වික්‍රමසිංහ යන අය මෙලෙස හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
හිටපු ජනාධිපතිවරු මෙලෙස හමුවීමට පෙර ඔවුන් තම දේශපාලන පක්ෂ හා ඒවාට සම්බන්ධ ආර්ථික විශේෂඥයන් සමඟ මේ පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි.
ඇමෙරිකාව විසින් පනවන ලද ඉහළ බදු හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවිය හැකිි බලපෑම් සහ එය අවම කර ගනිමින් රටක් වශයෙන් ඉදිරියට යෑම සඳහා ගත යුතු පියවර කෙරෙහි මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
රට හමුවේ ඇති මෙම අභියෝගය සම්බන්ධව හිටපු ජනාධිපතිවරු පවත්වන මෙම සාකච්ඡාවෙන් පසුව වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ ද සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.