Home අද ජනතාව අනුරට රට දුන්නේ කෙ‍ඳිරිගාන්න නෙමෙයි – සජිත්

ජනතාව අනුරට රට දුන්නේ කෙ‍ඳිරිගාන්න නෙමෙයි – සජිත්

59
0

සුබ නැකැතින් රට අනුරට දීලා ජනතාව අන්ත දුක්ඛිත, අන්ත දුෂ්කර ජීවිතයකට යොමු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ගෙදරට ලැබෙන ආදායමේ වර්ධනයක් නොමැතිව බඩු මිල අහස උසට වැඩි වී ජනතාව අමාරුවෙන් ජීවත් වන අතර, එදිනෙදා වේල් 3 අමාරුවෙන් පිරිමහගන්නා බවත්, මේ රජය ජනතාව මත පීඩනය පටවන්න කෙතරම් දක්ෂද කිව්වොත් හාල් පොල් ආදී අත්‍යාවශ්‍ය ආහාර පානවල මිල ඉහළට නැංවී ඇති බවත්, විපක්ෂ නායකවරයා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ විපක්ෂ නායකවරයා,

ජනතාව ප්‍රශ්න රැසක ඉන්න විට රජය සහ රජයේ නියෝජිතයන් කෙඳිරි ගානවා. රෝහල්වල අත්‍යාවශ්‍ය බෙහෙත් නොමැති වී බරපතල බෙහෙත් හිඟයක් පවතිනවා. රෝහල් පද්ධතියේ බෙහෙත් නැති වීම බරපතල ගැටලුවක්. බෙහෙත් නැතිව රෝගීන්ගේ ජීවිත බේරා ගන්නේ කෙසේද ?

විදුලි බල ඇමතිවරයාගේ නිවස ළඟ ගම්මාන රැසකට විදුලිය විසන්ධි වෙලා. මේ නිසා විශාල පිරිසකගේ ජීවනෝපාය අහිමිවෙලා, ඒ ගම්වල සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඉටිපන්දම් එළියෙන් පාඩම් කරනවා.

අදක්ෂ සැලැසුමක් නැති පාලනයක්, රට පාලනය කරන්න වැඩපිළිවළක් නැති වැඩ බැරි ආණ්ඩුවක් රටේ නිර්මාණය වී ඇති බවත්, මේ නිසා රටේ හැරවුම් ලක්ෂය මේ පළාත් පාලන මැතිවරණයෙන් සිදු කළ යුතු බවත්, විපක්ෂ නායකවරයා පවසයි.

එමෙන්ම ජාතික ආරක්ෂාව අද සුරක්ෂිතයි කියා කිව්වත් රටේ සෑම තැනම වෙඩි තැබීම් සිදුවන අතර, ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු ඇමතිවරු මේ රජයේ සිටින බවත්, මේ වසරේ මිනිමැරුම් 22ක් පමණක් දැනට සිදුව ඇති බවත් ඔහු පවසයි. මේ ඝාතන ජාතික ආරක්ෂාවට අදාළ නැති කියා ඇමතිවරු කියන බවත්, ජාතික ආරක්ෂාවට රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා අයිති නමුත් මැරකල්ලි එය උදුරා ගෙන ඇති බවත්, මේ ක්‍රමය වෙනස් කළ යුතු බව ද විපක්ෂනායකවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Previous articleනාමල්ගේ ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධ නඩුවෙන් මහාධිකරණ විනිසුරු ඉවත් වෙයි !
Next article“අපිට කිසි ලැජ්ජාවක් නෑ” – නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here