බ්‍රිතාන්‍ය රජය තමා හට සම්බාධක පැනවීම දේශපාලන නාට්‍යයක් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.
2006 වසරේ දී බ්‍රිතාන්‍ය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මාස8ක් සිරගත කළ බව සිහිපත් කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී බ්‍රිතාන්‍ය රජය සොයා නොගත් චෝදනාවක් දැන් සොයාගෙන ඇති බවද සඳහන් කළේය .
ඔහු ඒ බව සඳහන් කළේ කල්කුඩා මැතිවරණ කොට්ඨාසයේ පැවැති දේශපාලන රැස්වීමක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් මෙසේද සඳහන් කළේය .
“අපි සන්ධානය පිහිටුවා ගැනීම ලොව පුරා කතාබහට ලක්වන මාතෘකාවක්. බ්‍රිතාන්‍ය රජය මාව තහනම් කළා. එය මීට පෙර කිසිදා සිදු නොවූ ක්‍රියාවක්. මේක දේශපාලන නාටකයක් කියලා මම කියනවා. 2006දී මාව බ්‍රිතාන්‍ය රජය විසින් අත්අඩංගුවට අරගෙන මාස 8ක් සිරගත කළා. එහිදී සොයා නොගත් චෝදනාවක් බ්‍රිතාන්‍ය රජය දැන් සොයාගෙන තිබෙනවා. ඒ වෙලාවේ ආණ්ඩුවට මොනවගේ දෙයක් ද කරන්න පුළුවන්කම තිබුණේ. නමුත් ඔවුන් මාව රාජකීය ගෞරවයෙන් කටුනායක ගුවන්තොටුපොළට ආරක්ෂිතව අරන් ආවා. කරුණා අම්මාන් වැරැද්දක් කරලා තියෙනවා කියලා බ්‍රිතාන්‍ය රජයට දැන් වැටහිලා තියෙනවා. මේ සියල්ල නැගෙනහිර දෙමළ ජනතාවගේ පැවැත්ම කොල්ලකෑමේ උත්සාහයක් බව කියන්න පුළුවන්. ඇතැම් අය මේ සඳහා සහයෝගය දෙනවා. ‘ඵල දරන ගසකට ගල් ගහනවා’ කියන පරිදි ජයග්‍රහණයේ ලකුණ දෘශ්‍යමානයි.