” සෞඛ්‍ය සම්පන්න” ලෙස හඳුන්වා දෙමින් “අඩු වියදම් ” මත්පැන් නිෂ්පාදනයක් පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පෙර, මධ්‍යසාර නිෂ්පාදනය සහ අලෙවිය සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන රාජ්‍ය ආයතනයක් ලෙස සුරා බදු දෙපාර්තමේන්තුව, මත්පැන් භාවිතයේ සරල සත්‍ය සම්බන්ධව හෝ අවධානය නොදැක්වීම කණගාටුවට කරුණක් බව අවධාරණය කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලිපියක් යොමුකර තිබේ.
ශ්රී ලංකා වෛද්‍ය සභාව විසින් සුරාබදු කොමසාරිස් ජනරාල් වෙත මෙකී ලිපිය යොමුකර ඇති අතර සෞඛ්‍යට හිතකර මත්පැන් කියා දෙයක් නොමැති බවද එහිදී පෙන්වාදී තිබේ.
ශ්රී ලංකා වෛද්‍ය සභාව විසින් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත යොමු කර ඇති ලිපිය පහත දැක්වෙයි .
යූ. එල්. උදය කුමාර මහතා,
සුරාබදු කොමසාරිස් ජනරාල්,
අංක 353,
කෝට්ටේ පාර,
රාජගිරිය
කොමසාරිස් ජනරාල් තුමනි,
සෞඛ්‍ය සම්පන්න සහ අඩු වියදම්” ලෙස මත්පැන් නිෂ්පාදනයක් හඳුන්වා දීමේ යෝජනාව
මත්පැන් භාවිත කරන්නන් මෙන්ම භාවිත නොකරන්නන් වෙතද මරණය අත්කර දෙයි. සෞඛ්‍යයට හිතකර මත්පැන් නිෂ්පාදන නොමැත. නීත්‍යානුකූල මත්පැන් මිල අඩු කිරීම හරහා නීති විරෝධී මත්පැන් ජාවාරමට වැට බැඳිය නොහැක.
ඉහත දක්වන ලද කරුණු, මත් පැන් පිළිබඳ සරළ සත්‍යයන් වේ. ” සෞඛ්‍ය සම්පන්න” ලෙස හඳුන්වා දෙමින් “අඩු වියදම් ” මත්පැන් නිෂ්පාදනයක් පිලිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පෙර, මධ්‍යසාර නිෂ්පාදනය සහ අලෙවිය සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන රාජ්‍ය ආයතනයක් ලෙස සුරා බදු දෙපාර්තමේන්තුව, ඉහත කරුණු නොදැන සිටීම හෝ මෙම කරුණු සැලකිල්ලට නොගැනීම කණගාටුදායක වේ.
මිල අඩු වූ විට, විශේෂයෙන්ම තරුණ පිරිස් සහ සමාජ – ආර්ථික වශයෙන් දැඩි බලපෑමට ලක්වූ කණ්ඩායම් අතර මත්පැන් පරිභෝජනය ඉහළ යන බව දෙපාර්තමේන්තුව නොදැන සිටීම හෝ සැලකිල්ලට නොගැනීම ද අවධානයට ලක්විය යුතු කරුණකි.
නීති විරෝධී මධ්‍යසාර භාවිතය රට පුරා බහුලව සිදුවන බවට මත්පැන් කර්මාන්තය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලබන, සනාථ කළ නොහැකි ප්‍රකාශයන් සමඟ සුරා බදු දෙපාර්තමේන්තුව එකඟ වීම ද අපගේ විශ්මයට හේතු වේ. ඇත්ත වශයෙන්ම, නීත්‍යානුකූල මධ්‍යසාර නිෂ්පාදන භාවිතයට සාපේක්ෂව නීති විරෝධී මත්පැන් භාවිතය ශ්‍රී ලංකාව තුළ ඉතා අඩු මට්ටමක පවතී. මේ බව, ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණය සහ අනෙකුත් අධ්‍යයන මගින් අනාවරණය කොට ඇත. මත්පැන් කර්මාන්තයේ සහ සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉහත ස්ථාවරය සනාථ කරන, කර්මාන්තයේ සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් නොමැති, තාක්ෂණික වශයෙන් ඉහළ, ස්වාධීන සහ ජාතික මට්ටමේ අධ්‍යයනයක් තිබේ නම්, එය ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කරන ලෙස ද අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
ශ්‍රී ලංකාව මේ වන විට දුප්පත්කම ඉහළ යාම සහ ආහාර අනාරක්ෂිත භාවය වැනි සැලකිය යුතු ආර්ථික අභියෝග රැසක් සමඟ පොර බදමින් සිටින බව අපි කවුරුත් දනිමු. ජනගහනයෙන් හතරෙන් එකක් දරිද්‍රනා රේඛාවට පහළින් ජීවත් වන බව වාර්තා වී ඇති අතර, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඇති හැකියාව හා සැසඳීමේදී වැටුප් සහ ඉපැයීම් පහත යෑමෙන් මෙම තත්වය තවත් උග්‍ර වී ඇත. මෙම සන්දර්භය තුළ “අඩු වියදම් ” මත්පැන් වර්ගයක් හඳුන්වා දීම මගින්, මූලික අවශ්‍යතා සපුරා ගැනීමට දැනටමත් අරගල කරන, තවදුරටත් අවදානමට ලක්විය හැකි ජනතාව අතර මත්පැන් පරිභෝජනය වැඩි වනු ඇත. මෙවැනි බොහෝ පවුල් මේ වන විටත් මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතාවයන් කොතෙක්ද යත්, සිය පවුලට අවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහාද මුදල් ණයට ලබා ගැනීමට ඔවුනට සිදු වී ඇත.
ඔබ මේ වන විටත් දන්නා පරිදි, ශ්‍රී ලංකාවේ මත්පැන් පරිභෝජනය සැලකිය යුතු සමාජ හා ආර්ථික හානියක් සිදු කරන අතර එමගින් රටේ පවතින අභියෝගයන් තව දුරටත් තීව්‍ර කරවයි. මත්පැන් හා සම්බන්ධ, සිරෝසිස් සහ පිළිකා වැනි බෝ නොවන රෝග මගින් සෞඛ්‍ය පද්ධතිය වෙත මේ වන විටත් දැඩි පීඩනයක් එල්ල කොට ඇත.
වර්ෂ 2015 දී සිදු කළ විද්‍යාත්මක ගණනය කිරීමකට අනුව, මධ්‍යසාර ආශ්‍රිත සමස්ථ වාර්ෂික පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 885.86 ක් ලෙස ඇස්තමේන්තු කිරීම මෙම පීඩනයේ තරම මොනවට කියාපායි. සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි අන්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීමට යෙදවිය හැකිව තිබූ සම්පත් වෙනතක යොමු කරමින් මේ ඇති කරන ආනතිය අප රට දිගින් දිගටම දිළිඳු බවේ පතුලටම අද දැමීමට මග පාදයි. තවද, සෑම වසරකම ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට මරණය කැඳවන අනතුරු වලට මත්පැන් හේතුවන අතර, පවුල් අස්ථාවරත්වය සහ අපරාධ වැඩි කරවමින්, ආර්ථික ඵලදායීතාවයට මග පාදන ප්‍රජාවේ එකමුතු බව විනාශ කිරීම සඳහාද එහි ඇති බලපෑම ඔබේ දෙපාර්තමේන්තුව හොඳින් දැන සිටිය යුතුය.
නිලධාරීන් විසින් ඇති කිරීමට යෝජිත, මත්පැන් කර්මාන්තයට හිතකර, මෙම අදූරදර්ශී ප්‍රතිපත්තිය මගින් ශ්‍රී ලාංකීය ජනතාව වෙත දරුණු රෝගාබාධ, අනතුරු ගෘහස්ථ හිංසනය, ළමා අපචාර, සියදිවි නසා ගැනීම්, අපරාධ සහ වෙනත් සමාජ ප්‍රතිවිපාක බහුල කරවන පරිසරයක් උරුම කරදීම කිසිසේත් සාධාරණ නොවේ.
නීති විරෝධී මත්පැන් වළකාලීම කළ යුත්තේ ශක්තිමත්ව, කාර්යක්ෂමට සහ දුෂණයෙන් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමෙනි. නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය සුරා බදු ආඥාපනතේ පැහැදිලිව දක්වා ඇත. නීත්‍යානුකූල සහ නීති විරෝධී මත්පැන් අතර මිල තරගයක් ඇති වූ සෑම විටකදීම වාසි වන්නේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදකයින් වෙත වන අතර එවැන්නකට අනුබල දීම මගින් අනියමින් තම නොහැකියාව ප්‍රකාශ නොකොට, ශක්තිමත්ව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් සිය නිපුණතාවය ප්‍රදර්ශනය කරන ලෙස අපි දෙපාර්ත මේන්තුවෙන් ඉල්ලා සිටිමු.
එබැවින්, සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට ද පටහැනි මෙම තීරණය නැවත සලකා බලන ලෙස අපි ඔබෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. එවැනි ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමෙන් යහපතක් සිදුවන්නේ මත්පැන් කර්මාන්තයටම පමණි. අනෙකුත් අප සියලු දෙනා වෙත අන්වන්නේ අනර්ථදායක ප්‍රතිඵල පමණක්ම වන අතර ඉන් ගැලවීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද නොහැකි වනු ඇත