2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීම සහ ඒ ආශ්‍රිත සිදුවීමට අදාළව තමාව අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, වැඩතහනමට ලක්ව අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය.
එසේම නඩු ගාස්තු වශයෙන් රුපියල් 150000ක් ගෙවීමට ද එහිදී නියම කෙරිණ.
දේශබන්දු තෙන්නකෝන් විසින් යොමුකළ රිට් පෙත්සම පසුගිය 12 වෙනිදා අභියාචනාධිකරණය විසින් සලකා බැලිණි.
එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ.